ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට පසුගියදා කම්කරු අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකදී පෞද්ගලික අංශයේ ප්‍රධානීන් එකග වූ බව නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබදතා අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිළධාරී සරත් කළුගමගේ මහතා පැවසුවේ කොවිඩ් – 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුව සමග පැවති සාකච්ඡාවේදී මේ සදහා එකඟතාව පළ කළ බවයි.
එම කාර්ය සාධක කමිටුවේ නියෝජිතයන් වන ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ද අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරුද අමාත්‍යවරයාා සමග පැවති මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ.
තව දුරටත් කතා කළ කළුගමගේ මහතා පැවසුවේ මෙම සාකච්ඡාවේදී පෞද්ගලික අංශයේ ආයතනවලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසකට එළැඹි බවයි.
ඒ අනුව කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය වුු අතර සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, අවශ්‍යතාව අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් තීරණය කර ඇති අතර සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, නිවසේ සිට හෝ වැඩ කරන කාල සීමාවේදී මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමට මෙන්ම EPF සහ ETF නිසි පරිදි තැන්පත් කිරීමටද තීරණය කළ බව කළුගමගේ මහතා පැවසුවේය.
මෙම එකඟතාවන් කොවිඩ් – 19 කාල වකවානුවට අදාලව 2020 මැයි සහ ජූනි මාසවලට සීමාවන අතර ජූනි මස අවසානයේදී නැවත එම කමිටුව රැස්වී සමාලෝචනය කිරීමටද නියමිතය.
