වර්තමානයේ කොවිඩ් – 19 වසංගතයෙන් අසරණ වී සිටින මහජනතාවට සහන සැලසීමට මුදල් නොමැති බව පවසන ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති තත්ත්වයක් තුළද රාජ්‍ය ඇමැතිවරුන්ටත් වාහන සහ අනෙකුත් වරප්‍රසාද ලබා දෙන්නට අගමැතිවරයාගේම අත්සනින් යුතු සංදේශයකින් කටයුතු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් තවමත් නිළ වාහන පාවිච්චි කරන බවයි.
“මැතිවරණ කොමසාරිස්වරයා නිශ්චිතවම කියා තිබෙනවා ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් ඇමතිවරුන්ට පමණයි නිල වාහන පාවිච්චි කරන්න හැකි බව. ඒ අතර මාර්තු 06වැනිදා අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල සංදේශයකින් යෝජනා කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, කැබිනට් අමාත්‍යවරු, විපක්‍ෂනායකවරයා රාජ්‍ය අමාත්‍යවරු සහ ඒ හා සමාන තනතුරු දරන තැනැත්තන් විසින් දරනු ලබන වරප්‍රසාදයක් ලෙස රජය විසින් ලබාදී ඇති නිල වාහන හෝ නිල නිවාස දේශපාලන පක්‍ෂයේ අපේක්‍ෂකත්වය ප්‍රවර්ධණය කරීම සඳහා භාවිතා කරන්නේ නම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කර තිබෙනවා. මේක ඉතාම බරපතල ලෙස මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍යවරයාගේ අත්සනින් ඉදිරිපත් කර තිබෙන සංදේශයක්.” යැයි ඔහු කියා සිටියේය.
එක් ඇමතිවරයෙක් වෙනුවෙන් මාසකට රු.240,000ක් ඉන්ධන දීමනාවක් ලබාදෙන අතර මේ මුදලින් පවුල් 48කට රු.5,000 දීමනාව ලබා දීමට හැකි බවත් හදුන්නෙත්ති මහතා පවසයි.
එසේම ඇමතිවරුන්ට වාහන 7ක් 8ක් තිබෙන අතර තමන්ගේ පක්ෂයේ අයට මැතිවරණය වෙනුවෙන් නීති උල්ලංඝනය කරමින් මහජනතාවගේ මුදල් වියදම් කරන බවත් එය වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට ඔවුන් පැමිණිලි කළ බවත් ඔහු කියා සිටියේය.
