පසුගිය වසරේ අප්‍රෙල් 21 වන දින සිදු කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට පත්වන සැකකරුවන්ගේ නම් හෙළි නොකිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
එම ප්‍රහාරය සම්බන්ධව පසුගියදා අත්අඩංගුවට පත් වුණු සැකකරුවන් පිළිබද කළ විමසීමකදී පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ මින් ඉදිරියට එම නම් හෙළි නොකිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව මින් ඉදිරියට එම සැකකරුවන්ගේ වයස සහ ඔවුන් ජීවත්වන ප්‍රදේශ පමණක් මාධ්‍යයට හෙළි කරන බව පොලිස් මාධ්‍ය අංශ්‍ය තව දුරටත් පැවසුවේය.
පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂනවලට අනුව පසුගියදා කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයකට මුවාවී පවත්වා ගෙන ගිය අවි ආයුධ පුහුණුව ලබාදීමේ ස්ථානයක් වැටලූ අතර එම ස්ථානයේ භාරකරු ලෙස කටයුතු කළ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 45 හැවිරිදි තැනැත්තෙක් සහ අදාළ ලියකියවිලි තොගයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේය.
තව දුරටත් කරන ලද පරීක්ෂණවලදී මුන්දලමේ අසාර් නගර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් අවි ආයුධ පුහුණව ලබා දීමේ සහ සංවිධානයට සාමාජිකයන් තෝරා ගැනීමේ මධ්‍යස්ථානයක්ද සොයා ගනු ලැබූ බවත් පොලිස් අධිකාරී සේනාරත්න පැවසුවේය.
