රජය විසින් මහා පරිමාණ ව්‍යාපෘතිි සම්බන්ධයෙන් ගෙන ඇති නව කොන්දේසි හේතුවෙන් රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා ඉදිකිරීම් කටයුතුවලින් අදාල චීන සමාගම ඉවත් වන බවක් පෙනෙන්නට තිබේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මින් ඉදිරියට ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති සදහා ණය මුදල් ලබා ගැනීමේදී එම ණය මුදල කොටස් වශයෙන් නොව මුළු මුදලම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ලබා ගත යුතු බවට රජය විසින් තීරණය කර ඇත. එසේම මෙම ණය මුදල් නැවත ගෙවීමේදී වසර 05ක සහන කාලයක්ද අවශ්‍ය වන අතර එම කාලය තුළ පොළී මුදල් අය කිරීමක්ද සිදු නොකළ යුතු බවට අදාළ ආයතනවලට දැනුම් දීමට තීරණය කර ඇත.
එසේම අදාළ ව්‍යාපෘතිය වසර තුනකදී අවසන් කළ යුතු බවටත් රජය විසින් කොන්දේසියක් දමා ඇති අතර ඩොලර්වලින් ලැබෙන ණය සදහා ප්‍රමුඛතාව ලබා දීමටද රජය තීරණය කර ඇතිි බව දැනගන්නට ලැබේ.
කෙසේ වෙතත් මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම මහා පරිමාණ ව්‍යාපෘතියක් වන රුවන්පුර අධිවේගී මාර්ගයේ මේ වන පළමු කොටසේ ඉදිකිරීම් සදහා තෝරා ගෙන තිබෙන චීන සමාගමටද මේ බව දන්වා ඇති අතර එම සමාගමෙන් මේ වන තෙක් ප්‍රතිචාරයක් නොමැති බව දැනගන්නට ඇත.
China National Technical Import and Export Corporation යන සමාගමට කිලෝ මීටර් 26.3කින් යුතු කහතුඩුව – ඉංගිරිය පළමු අදියර ලබා දී ඇත්තේ 2016 වසරේදීය.
රත්නපුර හරහා කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා වූ කිලෝ මීටර් 73.9කින් යුත් සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර තුනකින් නිම කිරීමට පළමුව සැළසුම් කර තිබුණද ඉන් පසු කැබිනට් මණ්ඩලය විසින් 2016 වසරේදී එය කොටස් 04කින් ක්‍රියාත්මක කොට එක් එක් අදියර එක් එක් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දිය යුතු බවට තීරණය කෙරිණි.
