පසුගියදා වැලිසර නාවික හමුදා කදවුරෙන් නිවාඩු ලබා පිටව ගොස් සිට කොවිඩ් – 19 රෝගය අසාධනය වූ සාමාජිකයන්ගෙගෙන් රෝගය බෝවිය හැකි පළමු සහ දෙවන පාර්ශ්වකරුවන් සියල්ල මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර අවසන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ යුධ හමුදාව යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානවල අදාළ කාලය අවසන් කිරීමෙන් සහ PCR පරීක්ෂණවලින් පසුව 77 දෙනෙකු පමණ අද දිනයේදීද තම නිවෙස් බලා පිටත් කර යැවූ බවයි.
ඒ අනුව මේ වන විට 4526ක පමණ පිරිසක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා ගොස් ඇති බවත් ලුතිනන් ජනරාල් සිල්වා පැවසුවේය.
මේ අතර අද දිනයේදී ඉන්දියාවේ බැංගලෝර් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 164ක් පමණ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ගෙන්වා ගත් අතර ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් ඔහු කියා සිටියේය.
