වැලිසර නාවික හමුදා කදවුර ආශ්‍රිතව මතුවූ අවාසනාවන්ත තත්ත්වයත් සමග මෙතෙක් කොවිඩ් – 19 අවදානම සාපේක්ෂව අඩු දිස්ත්‍රික්ක ගණනාවක රෝගීන් හමුවීමක් නිරීක්ෂණය වන අතර කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන්ව ඇති වර්තමනා තත්ත්වය වහාම සමාලෝචනයකට ලක් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ පැවසුවේ විශේෂයෙන් අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයක අලුතින් මතුව ඇති අවදානම් තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇති බවයි.
කුරුණෑගල වැනි සමහර දිස්ත්‍රික්කවල රෝගය ඇතැයි හදුනාගත් නාවික හමුදා නිළධාරීන් සමග ගැටුණු පවුලේ සාමාජිකයන්ට පවා රෝගය වැළදී ඇතැයි තහවුරු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් වෛද්‍ය සංගම් ලේකම්වරයා පැවසුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛා ගණනාවක් පවතින තත්ත්වය පිළිබදව කරුණු ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව අලුතෙන් මතුව ඇති මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර සමාජ දුරස්ථකරණය අරමුණු කරගත් පුද්ගල සංචරණ සීමාවන්, හදුනාගත් දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශවල රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් අද දින ලිපියක් මගින් ඉල්ලා සිටි බවත් වෛද්‍ය අළුත්ගේ පැවසුවේය.
