නිර‌ෝධායන නීති කඩ කරන්නන්ට ‘මාස 06ක සිර දඩුවමක්’

by admindasun
0 comment 42 views

ඇදිරි නීතිය ලිහිල් කරන ලද කාලය තුළ හෝ ඇදිරි නීතිය කාලය තුළ නිරෝධායන නීති කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වන අතර එවැනි පුද්ගලයන්ට එරෙහිව මාස 06ක සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් ර‌ෝහණ මහතා පැවසුවේය.

කොවිඩ් – 19 වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය නිරෝධායන නීති රීතිවලට අදාළව පනවා ඇති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලතල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප‌ොලිස්පතිවරයාට ලබා දී ඇති බවත්ය.

මේ වන විට ඇදිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල ගමනාගමනයේදී නියමිත පරිදි මගීන් සංඛ්‍යාව 50%ක ප්‍රමාණයක් රැගෙන යා යුතු අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සපුරා තහනම් බවත් ඔහු පැවසුවේය. එසේම අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන කාර්යාලවලට නියමිත පරිදි අඩු සේවක සංඛ්‍යාවක් පවත්වා ගත යුතුවේ.

තව දුරටත් අදහස් දැක්වූ අජිත් රෝහණ මහතාට අනුව මේ වන විට ලංකාව පුරා පොලිස් මාර්ග බාධක 944ක් පමණ යොදවා ඇති අතර දිස්ත්‍රික්ක මායිම් ආවරණය වන පරිදි මාර්ග බාධක 262ක් යොදවා ඇත.

තවද ඇදිරි නීති කඩ කිරීම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 36,115ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට පත්වූ වාහන සංඛ්‍යාව 10,000ක් පමණ වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා තව දුරටත් පැවසුවේ ඇදිරි නීතිය ලිහිල් කිරීමක් සිදු කර ඇත්තේ වෙනදා මෙන් හැසිරීමට නොවන අතර තව දුරටත් කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සදහා අදාළ සෞඛ්‍ය උපදසේ ඒ අයුරින් පිළිපැදිය යුතු වන බවත්ය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment