ඇදිරි නීතිය ලිහිල් කෙරෙන කාලය තුළ සීමිත පැය ගණනකට ව්‍යාපාර කටයුතු කිරීමට සුරාසල් සහ රට බීම අලෙවිසල්වලට ඊයේ සිට අවසර ලබා දුන්නද වහාම ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙන තුරු එම තීරණය වෙනස් කිරීමට රජය තීරණය කළේය.
ඒ අනුව අද උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යළි දැනුම් දෙන තුරු දිවයිනේ සියලු සුරා සල් සහ රට බීම අලෙවි සල් වසා තැබෙන බවයි.
පසුගිය මාර්තු 20 වන දින සිට රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග රට පුරා මත්පැන් අලෙවි සල් වැසීමට නියෝග කෙරුණු අතර ඇදිරි නීතිය ලිහිල් කෙරෙන කාලය තුළද එම අලෙවි සල් විවෘත කිරීමට අවසර ලබා දුන්නේ නැත. කෙසේ වෙතත් අප්‍රේල් 20 වන දින සිට සමහර ප්‍රදේශවලට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමග සීමිත පැය ගණනකට මත් පැන් අලෙවි සල් විවෘත කිරීමට අවසර ලබා දුණි.
මේ අනුව ඊයේ දිනයේ මෙම අලෙවි සල් විවෘත කිරීමට පෙරම ඒ අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව කිසිම ආරක්ෂක හෝ සෞඛ්‍ය උපක්‍රම ගැන නොසිතමින් හැසිරෙන ආකාරය මාධ්‍ය මගින් වාර්තා කළේය.
විශේෂයෙන් මත් පැන් අලෙවි සල් විවෘත කිරීමත් සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ වෙනත් මත්ද්‍රව්‍ය විරෝධී විවිධ ආයතන එය කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ කටයුතුවලට බාධාවක් බවත් යළි එම වෙළෙද සල් වසා දැමිය යුතු අතර සාමාන්‍ය වෙළෙද සල්වල සිගරට් විකිණීමද තාවකාලිකව නැවැත්විය යුතු බවත් පැවසීය.
කෙසේ වෙතත් අද උදෑසන සිට මත් පැන් අලෙවි සල් යළි දැනුම් දෙන තුරු වසා දැමීමට රජය විසින් තීරණය කරන ලදී.
