මහත් ආන්දෝලනයකට ලක්වී තිබුණු මෙරට මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ජුනි මස 20 ලෙස අද තීන්දු කෙරිණි. ඒ පිළිබද වූ ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.
News Unlimited වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පැවසුවේ කොමිසමේ සාමාජිකයන් තුන් දෙනාගේම කැමැත්ත අනුව අද දින පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුවට එළඹුණු බවයි.
මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ මහින්ද දේශප්‍රිය (සභාපති) සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන්ය.
මීට පෙර අප්‍රේල් 25 වන දින මැතිවරණ පැවැත්වීමට අදහස් කර සිටියද කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණුු අතර පාර්ලිමේන්තුව විසුරුවා මාස 03ක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය හැකි අයුරින් මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සහ රජය අතර යම් ගැටුමක් නිර්මාණය වෙමින් තිබුණි.
පසුව මැයි 28 වන දින මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහිිිිින්ද දේශප්‍රිය මහතා විසින් යෝජනා කර තිබුණද ඒ පිළිබදව කොමිසමේ සාමාජික මහාචාර්ය හූල් විරුද්ධ විය.
කෙසේ වෙතත් අද දින පැවැති සාකච්ඡාවේදී සාමාජිකයන් තිදෙනාගේම කැමැත්ත පරිදි කිසිදු මතභේදයකින් තොරව ජුනි 20 වන දින මැතිවරණය පැවැත්වීමේ තීරණයට පැමිණි බව මහාචාර්ය හූල් පැවසුවේය.
අද දින මැතිවරණ කොමිසම රැස් වීමට පෙර සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, වෘත්තීය සමිතිි නියෝජිතයින් සමගද පවතින වසංගත තත්ත්වය පිළිබදව සාකච්ඡා පැවැත්වූ බව ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකයන් සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේදී හෙට (21) පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
