පුත්තලමට සුළගක් කළ හදියක්

by admindasun
0 comment 230 views

ඊයේ දින පුත්තලම දිස්ත්‍රික්කය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයෙන් නිවාස 635 කට සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වී තොගයකටත් හානි සිදුවී ඇති බව මේ වන විට කරන ලද තොරතුරුවලින් අනාවරණය වන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් / දිසාපති එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේය.

කෙසේ වෙතත් මේ වන විට ඒ නිසා අපහසුතාවට පත් ජනතාව වෙත කඩිනම් සහන ලබාදීමට මේ වන විටත් කටයුතු කර ඇති බවත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාට අනුව ඊයේ (15) දින පස්වරුවේ ඇතිවූ තද සුළං තත්ත්වයකින් පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම, වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ (05) නිවාස 635 කට පමණ හානි සිදුව ඇත. මේ අතුරින් නිවාස 37 ක පමණ වහළ සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇති අතර අවතැන්වූවන් පොදු ස්ථාන, ඥාතීන්ගේ නිවාස ඇතුලු ආරක්ෂිත ස්ථානවල රදචා සිටිති.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මිලට ගෙන ගබඩා කර තිබූ වී තොගයක්ද තෙමී ගොස් ඇත්තේ එම ගබඩාවේ වහලයටද දැඩි සුළගින් හානි සිදුවීම හේතුවෙනි. ඒ අනුව ඊයේ රාත්‍රියේම එම ගබඩාව විවෘත කර තෙමී තිබූ වී තොගය වෙන්කළ අතර එම වී තොගය කොපමණක්ද යන්න ගණනය කර සිදුව ඇති හානිය අද ගණන් බැලීමට නියමිතය.

සම්පූර්ණයෙන්ම වහල හානියට පත්ව ඇති නිවාස වෙත අද පෙරවරු 10 ට පෙර තාවකාලික ආවරණ (ටාපෝලින්) ලබා දීමට අවශ්‍ය පියවර ගනු ලැබූ බවත් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසූ අතර අවතැන්වූවන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ එම වසම් භාර ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේම ආරම්භ කළ බවද කියා සිටියේය.

ගස් කඩා වැටීමේන් විදුලි රැහැන් පද්ධතියටද දැඩි හානි සිදුව ඇති අතර ප්‍රදේශ කිහිපයක විදුලිබලය ඇණහිටීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 7,000 ක පමණ විදුලි සැපයුම බිදවැටී ඇති අතර මේ පිළිබදව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමග සාකච්ඡා කොට විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කළ අතර අද පස්වරුව වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා කියා සිටියේය.

තවද ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග අවහිර වීම්ද කිහිපයක් සිදුවූ අතර ආණමඩුව – නවගත්තේගම මාර්ගය වෙලේවැව ප්‍රදේශයෙන් අවහිර විය. එම අවහිරතා ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඊයේ රාත්‍රියේම ඉවත් කරන ලදි.

එමෙන්ම හානියට පත්ව ඇති නිවාස වල එම හානිය කොපමණද යන්න ගණන් බැලීම මේ වනවිටත් සිදුවන අතර හානියට පත්ව ඇති නිවාස සදහා වන්දි මුදල් ලබා දීම අද දිනය තුළම අවසන් කිරීමටද කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවවේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment