දිලිත් ගාල්ලෙන් වැඩ අරඹයි

by admindasun
0 comment 25 views

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දිලිත් ජයවීර මහතාගේ ‘සතුටු දැයක්’ (A Happy Nation) ලෙස නම් කෙරුණු දේශපාලන ව්‍යාපාරය අද දින තම උපන් ගම වන ගාල්ලේදී නිළ වශයෙන් ආරම්භ කළේය.

ඒ අනුව දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය යටතේ පැවති පළමු දිස්ත්‍රික් සමුළුව ගාල්ල නගර ශාලාවේදී ගාලු දිස්ත්‍රික් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර, පක්ෂයේ ලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න, හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාව අරඹමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ තමා ඉපදී හැදූ වැඩුණු ගාළු පුරවරයෙන් තම පක්ෂයේ ප්‍රථම සමුළුව ආරම්භ කරන අතර දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම පක්ෂ සමුළුව පවත්වන බවයි. ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිළධාරී වසම් නියෝජනය කෙරන පරිදි මව්බිම ජනතා පක්ෂයේ සම්මේලන රට පුරා පැවැත්වීමට නියමිතය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ශ්‍රී ලාංකීය දේශපාලනයට තමා අලුත් නොවන බවත් පසුගිය වසර 30 මුළුල්ලේ ජාතිකවාදී පිළේ දේශපාලන ව්‍යාපාරය තුළ තමන් සෘජු දායකත්වයක් ලබා දී ඇති බවත්ය.

කෙසේ වෙතත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ආසාර්ථක වීම හරහා තවදුරටත් වෙනත් පුද්ගලයින් නොව තමාම මේ රටේ වෙනස ඇති කිරීමට තරග කිරීමට තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය සහ ව්‍යාපාරික ජීවිතයේදී තමාට එල්ල වන චෝදනාවලට ප්‍රසිද්ධ විවාදයකදී පිළිතුරු දීමට සූදානම් බවත් ජයවීර මහතා මෙහිදී කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment