තම වෘත්තිය ලෙස ත්‍රිරෝද රථ ධාවනය කිරීමේ කර්මාන්තයේ යෙදී සිටින අය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට එම පිරිස නිර්ණය කර ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව වෘත්තීය ත්‍රිරෝද රථකරුවන්ගේ විස්තර ඇතුළත් ලේඛණයක් තමා වෙත ලබාදෙන ලෙසද අමාත්‍ය විජේසේකර ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වන විට පවතින සාමාන්‍ය කෝටාවට අනුව සතියකට ලබාදෙන පෙට්‍රල් ලීටර් හතරක ප්‍රමාණය තමාට ප්‍රමාණවත් නොවන බවත් දිනකට ලීටර් 05 බැගින් සතියකට ලීටර් 30ක ප්‍රමාණයක් ලබා දෙන ලෙසත් වෘත්තීය ත්‍රිරෝද රථකරුවන් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට අනුව මෙම කටයුතු සිදු කෙරේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී News Unlimited වෙත අදහස් දැක්වූ අමාත්‍යංශ ප්‍රකාශක පැවසුවේ පළමුව තම රැකියාව ලෙස ත්‍රිරෝද රථ ධාවනය කිරීමේ වෘත්තියේ යෙදී සිටින පිරිස හදුනාගැනීමට නියමිත බවයි.
ඉන් පසුව ඔවුන්ගේ සංඛ්‍යාවට අනුව සතියකට ඔවුන්ට ලබා දෙන පෙට්‍රල් ලීටර් ප්‍රමාණය නිර්ණය කරන බවත් අමාත්‍යංශ ප්‍රකාශක කියා සිටියේය.
මෙරට ගෘහස්ථව පවුලේ වාහනය ලෙස භාවිත වන ත්‍රිරෝද රථ වෙන් කර ගැනීමද මෙම සමීක්ෂණය හරහා සිදු කර ගන්නා බවත් රැකියාවක් ලෙස ත්‍රිරෝද රථ ධාවනයේ යෙදී සිටින අයට පමණක් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට කටයුතු කෙරෙන බවත් ඔහු පැවසුවේය.
