කොවිඩ් එන්නත් ගැන මිත්‍යා මත පතුරුවන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න – GMOA

by admindasun
0 comment 94 views

ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත්කරණය පිළිබඳව ඇති අත්දැකීම් සහ කොවිඩ් එන්නත්කරණය ඔස්සේ මරණ සහ සංකුලතා අඩු වන බවට විද්‍යාත්මක සාක්ෂි තිබියදීත්, විවිධ මිත්‍යාමත සහ එන්නත් විරෝධී ආකල්ප පතුරුවන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගත යුතු බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනා කරයි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කියා සිටියේ එම මිත්‍යා මත  පැතිරවීමෙන් වර්තමාන එන්නත්කරණ ක්‍රියාවලිය යම් පසුබෑමකට ලක්ව ඇති බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ සහ නිරෝධායන පනතේ විධිවිධාන අනුව මිත්‍යාමත පතුරමින් මහජනතාවගේ ජීවිත අවධානමට යොමු කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුහු වැඩි දුරටත් යෝජනා කරති.

පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අනුබද්ධ තාක්ෂණික විශේෂඥ කමිටුවක් විසින් සකසන ලද “Facing Omicron and Future New Variants of SARS – CoV-2 virus” වාර්තාවේ මෙම යෝජනාව ඇතුළත් වේ.

ඔමික්‍රෝන් හෝ අනාගත කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා මුහුණ දීමට අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ පහක් (5) ඔස්සේ මෙම වාර්තාව සකසා ඇත. නවතම විද්‍යාත්මක දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ, ඇමරිකාවේ CDC ආයතනයේ හා FDA ආයතනයේ දත්ත, යුරෝපා රටවල්, සිංගප්පූරුව, ඊශ්‍රාලය, ඕස්ට්‍රේලියාව ඇතුලු විවිධ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා මුහුණ දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව හා නිර්දේශ ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ලෙස සකසා ඇත.

කොවිඩ් රෝගීන් නිවසේදී රැක බලා ගන්නා ක්‍රමවේදය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු හා ‘DReAM’ සංකල්පය පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කිරීම සහ කොවිඩ් පිළිබඳ පර්යේෂණ සහ ඇගයීම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් මෙම වාර්තාවේ ඇතුළත්වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment