කෘෂිකර්ම ක්ෂේත්රය පිළිබදව අවබෝධයක් නොමැති පුද්ගලයන්ගේ උපදෙස් හේතුවෙන් විවිධාකාර ගැටළු මතුවී ඇති වකවානුවක තම යෝජනා රජය වෙත ලබා දීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මෙරට විශ්වවිද්‍යාල කෘෂිකර්ම මහාචාර්යවරු සහ වෘත්තිකයෝ කෘෂිකර්ම ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
මෙම ලිපිය සදහා මහාචාර්යවරු ඇතුළු 150කට ආසන්න කෘෂිකර්ම ක්ෂේත්රයේ ප්‍රවීණයන් පිරිසක් අත්සන් තබා ඇත.
වර්තමානයේ ගොවි ජනතාව විසින් මහ කන්නයට වගාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ඉල්ලා සිටිමින් රට පුරා සිදුකරනු ලබන උද්ඝෝෂණ දිනෙන් දින උග්‍ර තත්ත්වයට පත්වෙන වටපිටාවක් තුළ සහ එම කාබනික යෙදවුම් නිසි පරිදි, නිසි ප්‍රමාණවලින්, නිසි කලට ගොවීන්ට ලබා දීමේ දී මතුවූ විවිධාකාර පරිපාලනමය අර්බුදයන් සලකා බැලීමේදී කන්නයක් හෝ දෙකක් තුල සම්පුර්ණ කෘෂිකාර්මික පද්ධතියම කාබනික වගාවට යොමුකිරීමේ ඇති ප්‍රායෝගික ගැටලු මේ වනවිටත් සියලු දෙනාටම අවබෝධ වී ඇති බව බව ඔවුහු පවසති.
කෘෂිකර්මාන්තයේ වර්තමානයේ සිදු කරන වෙනස්කම් සම්බන්ධයෙන් තාක්ෂණික මඟපෙන්වීම සඳහා තෝරාගත් උපදේශකවරුන්ගේ සාවද්‍ය සහ නොමඟයවන සුළු උපදේශ මත, මෙහි සැබෑ අරමුණ කරා ළඟාවීමට අවශ්‍ය උපායමාර්ගය හෝ නිවැරදි වැඩපිළිවෙල ඉදිරිපත් නොවී ඇති අතර මෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඉතා විශාල අර්බුදයකට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තල්ලු වීම බවත් ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම පසුගිය වකවානුව තුළ ජනපතිවරයාට ඉතාමත් සමීපව උපදෙස් දුන් ඇතැමෙකු කෘෂිකර්ම විෂයට අදාළ මුලික සිද්ධාන්තයන් සියල්ල නොදැන හෝ නොසලකා මෙම උපදෙස් ලබා දී ඇති බව පැහැදිලි වන අතර එමෙන්ම මෙයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඇතැමෙක් තමන්ගේ “ඇඟ බේරාගැනීමේ” ආකල්පය අනුගමනය කරමින්, ජනාධිපතිතුමා සතුටු කිරීමේ අභිප්‍රායයෙන් පමණක්, හරි වැරදි සියල්ලටම එකඟතාවය පල කිරීම මත මෙම වැඩපිළිවෙල සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රමවේදය ගොඩනැගීමට අසමත් වී ඇති බවත් එම ලිපියෙන් කෘෂිකර්ම විද්වත්තු පවසති.