Bolero City Pik-Up දැන් ශ්‍රී ලංකාවේ

by admindasun
0 comment 18 views
Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සහභාගී වූ අතර ඔහු මහින්ද්‍රා අයිඩියල් ලංකා මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ ක්ෂේත්‍ර චාරිකාවකට ද එක් වෙමින් නව Bolero City Pik-Up රථය එකලස් කිරීමේ ක්‍රියාවලිය ද නිරීක්ෂණයට ලක් කළේය.
වැලිපැන්න ප්‍රදේශයේ පිහිටා ඇති මෙම වැඩබිම 2019 වසරේ අගෝස්තු මස M&M Ltd. සහ අයිඩියල් සමූහයේ සම හවුල්කාරීත්වය යටතේ ආරම්භ කරනු ලැබූවකි.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා,
“කොවිඩ් වසංගතයත් සමග ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යන්න. ඒ වනවිට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා. අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up  රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා.
උත්සව සභාව අමතමින් අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා, “දේශීය සැපයුම්කරුවන් සවිබල ගන්වමින් දේශීයත්වයේ අගය මෙම නව Bolero City Pik-up රථයට එක් කරන්නට හැකි වීමත් විශේෂත්වයක්. ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත’ පළමු Pickup රථය වන මෙය මෙරට වෙළඳපොළටත් වඩාත් හොඳින් ගැළපෙන නිෂ්පාදනයක්. අපගේ දීප ව්‍යාප්ත මහින්ද්‍රා අලෙවි ප්‍රදර්ශනාගාර ජාලය සහ බලයලත් සේවා නියෝජිත ජාලය සමඟින් මෙම වාහන මාදිලිය තුළ අපගේ වෙළඳපොළ ප්‍රමුඛතාව තහවුරු කරන්නට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment