විදෙස් ශ්‍රමිකයින් සල්ලි නොඑව්වොත් ඩොලර් අර්බුදය උග්‍ර අතට

by admindasun
0 comment 473 views

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය සීඝ්‍රයෙන් පහත වැටෙමින් සිටින පසුබිමක් තුළ මෙරටට වැඩිම විදේශ විනිමය සපයන විදේශ රැකියා නියුක්තිකයින්ගේ මුදල් එවීම සම්බන්ධනයෙන් ඉදිරියේදී ගැටළුකාරී තත්ත්වයක් පැන නගින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ රුසියානුවන්ට නොමිලේ ගුවන් ටිකට්පත් ලබාදී සංචාරකයින් ලෙස මෙරටට ගෙන්වන තත්ත්වයක් තුළ අපේ විදේශ ශ්‍රමිකයින් වෙනුවෙන් මේ තීරණාත්මක මොහොත් අවශ්‍ය දේ කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

“ලංකාවට වැඩිම විදේශ විනිමය ගේන්නේ විදේශ ගතවී ඉන්න ශ්‍රී ලාංකික සහෝදර ජනතාව. විදේශ විනිමය හිඟා කමින් ලෝකය වටේ ගියත් අවුරුද්දකට ඩොලර් මිලියන 7,000කට වැඩිය ගෙනත් දෙන විදේශගත ශ්‍රමිකයින් පිළිබඳව කටයුතු කර නැහැ. ශ්‍රී ලාකේය විදේශගත ශ්‍රමිකයෝ කොරෝනා වසංගත තත්වය තුළ පවා ඩොලර් මිලියන 3324ක් මේ අවුරුද්දේ මුල් මාස හයේදී රටට උපයා දී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මාසයකට ඩොලර් කෝටි 55ක් එවා තිබෙනවා. එයින් 50%කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග ගෘහ සේවයේ ඉන්න අපේ දයාබර අම්මලා අක්කලා එවන්නේ. නිල වශයෙන් සංඛ්‍යා දත්ත නැතත් දළ වශයෙන් ලක්‍ෂ 15ක් විතර විදේශ රැකියා කරන ඉතාමත්ම වගකීම්සහගත පිරිසක් ඉන්නවා,” යැයි හදුන්නෙත්ති මහතා පවසයි.

කොරෝනා වසංගතය ආරම්භයේදී විදේශ රැකියා කරන ලාංකිකයන් වදයක් හැටියට ආණ්ඩුව සැලකූ බවත් යුක්ක්‍රේන සංචාරකයන්ව මගුල් බෙර ගහලා පිළිගන්නා විට විදේශ විනිමය උපයා දෙන කුවේටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් මිනිස් බෝම්බ ලෙස සැලකූ බවත් ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ හදුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේය.

“කොරෝනා ලෝකයේ ව්‍යාප්තියත් සමග ආණ්ඩුව මුලින්ම කළේ අපේ රට වෙනුවෙන් පත්කර සිටින තානාපති කාර්යාලවල නිලධාරීන් ලංකාවට කැඳවීමයි. මේ නිසා ඒ රටවල ඉන්න විදේශ රැකියා කරන්නන්ගේ ගැටලු ගැන දැන්වීමට කම්කරු සුභසාධන නිලධාරීන් නැහැ. මේ අය ලංකාවට ගෙනත් නිරෝධායනයට අපට බාරදෙන්න කියා අපි ඉල්ලා සිටියා. නමුත් එහෙම කිසිම සුභසාධනයකට ඉඩ ලබාදුන්නේ නැහැ. මේ නිසා අද වෙනකොට ඔවුන් වීසා, තාවකාලික හැඳුනුම්පත් හෝ නිල ලියවිල්ලක් නැතිව කොවිඞ් වැක්සීන් ලබාගන්න නොහැකිවී තිබෙනවා. මේ නිසා ඒ රටවල් තුළදී පවා එන්නත ලබාගන්න වැඩපිළිවෙළක් ඔවුන්ට සකස කරදී නැහැ. මේ නිසා ලංකාවට ඇවිත් මැරෙන්න හරි ඉඩ දෙන්න කියලා අසරණව ඉල්ලීම් කරන තත්වයට ඔවුන් පත්වී තිබෙනවා. අපේ රටට ඩොලර් එවූ සහෝදර ජනතාව ඒ තරම්ම අසරණ කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙළක් හදන්න කියලා දිගින් දිගටම අපි ඉල්ලා සිටියා. අද වනවිට විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කොවිඞ් සම්බන්ධ නිල වෙබ් අඩවිය පවා අක්‍රිය කර තිබෙනවා. මේ නිසා විදේශ රැකියාවලට සහ අධ්‍යාපන කටයුතුවලට යන්න සිටින අයගේ කටයුතු පවා අඩපණ වී තිබෙනවා. ආණ්ඩුව ඩොලර් දිහා බලාගෙන විදේශ රැකියා කරන අය කොවිඞ් මාරයට බිලි දීලා තිබෙනවා. සෞඛ්‍ය අංශ නිර්දේශවලට ඇහුම්කන් නොදී විදේශ රැකියා කරන්නන්ගේ මෙරට පවුල්වල අයගේ ජීවිත බිලි දීලා තියෙන්නේ. මේ තත්වය තුළ අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා. මේ තත්වය තුළ විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් මේ හිතුවක්කාරී ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා මේ රටට එවන විදේශ විනිමය එවීම නතර කිරීමේ තීරණයක් ගන්න ඉඩ තියෙනවා.”

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment