පක්ෂයෙන් පක්ෂයට වෙනස්වන අධ්‍යාපනය

by admindasun
0 comment 78 views

ගයාන් පීරිස් විසිනි

ග්‍රීක මහා දාර්ශනික සොක්‍රටීස් අධ්‍යාපනය පිළිබඳ අදහස් දක්වමින් පැවසූයේ ‘ලොව උසස් ම දෙය දැනුම බවත් දැනුම ඇත්තා උසස් ම පුද්ගලයා බවත් එය ලැබෙන්නේ අධ්‍යාපනයෙන් බවත් ය. ඇරිස්‍ටෝර්ටල් මේ පිළිබඳ පැවසූයේ ‘නිරෝගී ශරීරයක් තුළ නිරෝගී මනසක් බිහි කිරීම’ බව ය. අධ්‍යාපනය යනු හදවත, හිස සහ අත ශක්තිමත් කිරීම බව මහත්මා ගාන්ධිතුමා පැවසී ය. කෙසේ වෙතත් අධ්‍යාපනය පිළිබඳ ස්ථිරසාර නිර්වචනයක් දීම උගහට ය. එය වියුක්ත සංකල්පයක් බැවිනි. කෙසේ වෙතත් අධ්‍යාපනය තුළ ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් ගැබ් වී ඇත. අධ්‍යාපනය යන්න බිඳී එන්නේ ලතින් භාෂාවෙනි. e-ducere‍/ educo යන වචනයේ අරුත ‘පිටතට ඇද ගැනීම’ යන්න ය. e-ducere යන්න සෑදෙන්නේ ද ඒ තුළිනි. සෑම පුද්ගලයකු සතුව ම විභව ශක්තියක් ඇති බවත් අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් මතුපිටට ගෙන ඒම බවත් එහි අරුත තවදුරටත් විග්‍රහ කරන්නේ නම් පැවසිය හැකි ය. අප මෙහිදී වඩාත් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන ඉතිහාසය තුළ යථෝක්ත පුද්ගලයා පිටතට ඇද ගැනීමට කෙතරම් වෙහෙසක් ගත්තා ද යන්න සොයා බැලීමට ය. වරින් වර මතුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ කොතරම් දුරට ශරීරය තුළ සැඟව ඇති මිනිසා පිටතට ගැනීමට හැකි වූයේ ද? සැබවින් ම එසේ වූවා නම් ශ්‍රී ලංකාව අද වනවිට ත් දියුණු වෙමින් පවතින රටක් වන්නේ කෙලෙස ද? සත්‍යය නම් එය එසේ නොවූවා ය යන්න ය.

මෙරට ඉතිහාසය දෙස විමසුම් ඇස හෙළද්දී 1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පනත පළමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලෙස හඳුන්වා දිය හැකි ය. දේශීය අධ්‍යාපනය එතෙක් පන්සල මූලික ව සිදු වූ බැව් අපි දනිමු. විශේෂයෙන් ම 1931 ඩොනමෝර් නිර්දේශ අනුව සර්වජන ඡන්ද බලය ලැබීම අධ්‍යාපනයේ මං පෙත් විවර කරන්නට මඟ පෑදුණු බැව් කිව යුතු ය. 1930 වනවිට ඇති හැකි අයට ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන සීමිත අධ්‍යාපන ක්‍රමයක් සැකසී තිබුණි. කෙසේවෙතත් යට කී ආඥා පනත පැමිණෙන විට ම එහි අරමුණු කර ගත්තේ “ජාතික අධ්‍යාපන ක්‍රමයක් අදාළ ජාතික ඌරුවෙන් මතු වී එය තුළ ම සකස් විය යුතු ය” යන්න ය. 1940 දශකය වනවිට මෙරට වර්ධනය වන මධ්‍යම පන්තිය ත් ව්‍යවස්ථාදායකය තුළ දේශීය නියෝජනයත් හිමිවීම මත අධ්‍යාපනයේ සමානතාවය සහ ගුණාත්මකභාවය වර්ධනය වනු දක්නට ලැබේ. ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ ලාංකේය අධ්‍යාපනයේ නැවුම් ගමන් මාර්ගයට ඇරඹුමක් සහ සැකසුමක් ශක්තිමත් ලෙස ක්‍රියාවට නැංවුණු බැව් පෙනේ. ඒ පිළිබඳව ලෝක බැංකුවේ පවා ප්‍රසාදය හිමි වී ඇති අයුරු පහත පරිදි පෙන්වා දිය හැකි ය. මෙතෙක් ශ්‍රී ලංකාවේ තියුණු සහ දියුණු දර්ශනයක් තිබුණු දීප්තිමත් ම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ඔහු හැඳින්වීම කිසිසේත් ම වැරැදි නොවෙතැ යි හඟිමි.

“1930-40 අවධියෙහි දී ම අධ්‍යාපන සැලැස්ම මූලික රාමුව සැකසීමෙන්, ලාංකේය ප්‍රතිපත්ති සම්පාදකයින් මිනිස් ප්‍රාග්ධනය පෘතුළ පරාසයක් තුළ වටිනා ආර්ථික හා සාමාජීය වාසි සැපයීමේ ශක්‍යතාව ඇති එම අපෙක්ෂා සාක්ෂාත් කරගත හැකි උපාය මාර්ගයන් බව අවබෝධ කොට ගැනීමත් තත්කාලීනයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටීමටත් සමර්ථ වූ බව පෙන්නුම් කොට ඇත.” (ලෝක බැංකු වාර්තාව 2005)

2005දී එළිදක්වන ලෝක බැංකු වාර්තාවක 1930-40 දක්වා කාලය විශේෂකොට තිබීමෙන් ම ආචාර්ය කන්නන්ගර මහතාගේ පැසුණු දර්ශනය පිළිබඳ අදහසක් අපට ලබා ගත හැකි ය. ඔහු විසින් මුලින් ම හඳුන්වා දෙන ‘හන්දෙස්ස යෝජනා ක්‍රමය’ විෂයමාලා සංශෝධනයේ ප්‍රථම පියවර ලෙස ඉතිහාසය තුළ හඳුනාගත හැකි ය. ජීවන කුශලතා, සෞඛ්‍ය අධ්‍යාපනය, තමා ජීවත්වන පරිසරය පිළිබඳ අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය වශයෙන් ප්‍රධාන අංශ 04ක් හඳුනා ගන්නා ලදී. ඒ අනුව ජීවන කුශලතා යටතේ වඩු කර්මාන්තය, මැටි කර්මාන්තය, ගඩොල් කැපීම, වේවැල් වැඩ, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, මීමැසි පාලනය ආදී ක්ෂේත්‍ර හඳුන්වා දෙන ලදී. එමෙන් ම පාසල් වත්ත තුළ එළවළු වගා කිරීම, පාසල් ලීබඩු අලුත් වැඩියා කිරීම, ගොවීන් හා අනෙකුත් ප්‍රජාව සමඟ සිසුන් මිශ්‍රකොට ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දීම, ජලාපවාහනය, කැලි කසල පවිත්‍ර කිරීම, මැලේරියා මර්දන කටයුතුවලට සහභාගී වීම ද ඒ අතරට එක් කරන ලදී. තමා ජීවත්වන ප්‍රදේශයේ භූගෝලීය සාධක, නිවැසියන්ගේ ජනගහනය, ගති ලක්ෂණ, ආර්ථිකය, සෞන්දර්යය, සාහිත්‍ය, චිත්‍ර-නැටුම් ආදිය පිළිබඳ අධ්‍යාපනය ලබා දීම ද එමඟින් සිදු විය. මෙය ආදර්ශයක් ලෙස සලකා පසුව අනෙකුත් පාසල් සඳහා ද හඳුන්වා දීමට කටයුතු කෙරිණි. අධ්‍යාපනය, රටේ ආර්ථිකය, සමාජ සංවර්ධනය ආදිය අතර පවතින නොබිඳිය හැකි ‍අන්‍යෝන්‍ය සබඳතාව කන්නන්ගරයෝ හොඳින් හඳුනා සිටි බැව් ඒ අනුව පැහැදිලි කරගත හැකි ය.

1943 විශේෂ කාරක සභා වාර්තාවේ කන්නන්ගර මහතා සඳහන් කරන පහත ප්‍රකාශය අදට ද ඉතා වටින්නේ ය. “සෑම පුරවැසියකුට ම තම ජාතියේ ජීවය සඳහා තමන්ට අයිති සම්පූර්ණ භූමිකාව සපුරාලීමට ඉඩ සලස්වන ක්‍රමයක් ගොඩනඟා ගැනීමට සෑම ප්‍රයත්නයක් ම දැරිය යුතු ය. අප අපේක්ෂා කරන ජාතිකත්වය සංස්ථාපිත විය යුත්තේ අවබෝධය සහ ඉවසා දරා සිටීම යන ධර්මතා මත ය. … සමාජයකට ඉතා ම අවශ්‍ය පුද්ගලයා වන්නේ තම අභියෝගයන්ට මුහුණදීමට හැකි ඒවා හමුවේ තමන් විසින් ම විසඳුමක් සොයා ගත හැකි පුද්ගලයා ය. ප්‍රතිභාව අවුළුවන ගිනි පුපුර කිසිවක් නොව නිර්මාණශීලිත්වයේ ගිනි පුපුර යි” අද රටක් ලෙස අප මුහුණ දී තිබෙන විරැකියාවේ අර්බූදය, තරුණ අසහනය, අධ්‍යාපනයේ සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීම ආදී කරුණු කාරණා සියල්ල පිළිබඳ ඔහු තුළ පැවති ඉදිරි දැක්ම එතුළින් වටහා ගත හැකි ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කතාබහ කෙරෙන මෙම ලිපිය තුළ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා පිළිබඳ බොහෝ තැන්වල කතා කෙරෙනුයේ අනිකක් නිසා නොව එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ අධ්‍යාපනය සම්බන්ධ කතාබහේ දී ඔහුට තරම් දර්ශනයක් තිබුණෙකු සොයාගත නොහැකි තරම් නිසා ය. මෘදු කුශලතා පිළිබඳ ව, වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම, ජීවන කුශලතා පිළිබඳ ව මෑත කාලයේ දී විවිධ උගතුන් මතු කළ සහ නිරන්නර මුමුනණ දේ කන්නන්ගරයෝ බොහෝ කලකට පෙර දුටු බැව් පෙනේ.

එම කාරකසභා වාර්තාවේ ම දැක්වෙන පහත අදහස පිළිබඳව ද වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සම්බන්ධ මහත්ම මහත්මීන්ගේ අවධානයට ලක්විය යුත්තක් බැව් කිව යුතු ම ය. “විභාගය විසින් විෂය මාලාව පාලනය වීමට ඉඩ නොදිය යුතු ය. එසේ නමුදු විභාග මඟින් විෂය මාලාව කිසියම් දුරකට පාලනය වේ නම් එසේ විය යුත්තේ රටේ අවශ්‍යතා සහ තත්ත්වයන් උඩ සකස් වූ විභාගයක් මඟින් පමණක් විය යුතු ය.” හුදු විභාග මූලික අධ්‍යාපන ක්‍රමයකට තවමත් අපි හුරු වී සිටිමු. එය පාසල් අධ්‍යාපනයේ සිට ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ම අදටත් සෑම දෙමාපියකුගේ ම, දරුවකුගේ ම, ගුරුවරයකුගේ ම මෙන් ම පුරවැසියකුගේ ම හිස මත තිබෙන ලොකු ම ‘බර’ බවට පත් වී තිබේ. කටපාඩම් නොහොත් ගිරාපෝතක අධ්‍යාපනයේ සීමා මායිම් තවමත් නිසි ලෙස අවබෝධකොට නොගෙන තිබීම අන්‍යාකාරයෙන් රටේ සියලු ම අංශයන්හි අවපාතයකට බලපා තිබෙන බව අපි දනිමු. 43 කොමිෂන් සභා වාර්තාව අදට ද මාර්ගෝප දේශ සපයන බැව් ඒ අනුව පෙනෙන්නට තිබේ. මෙයින් මතුකරන ලද කරුණු කාරනා පිළිබඳ එක්කෝ තේරුම් ගත හැකි පිරිසක් අධ්‍යාපනය වටා එවක නොසිටින්නට ඇත. නොඑසේ නම් හිතා මතා ම එය මඟහැර තිබෙන්නට පිළිවන. කන්නන්ගර යෝජනා නැවත කියැවීමට නිවැරදි ම කාලය දැන් එළඹ ඇති බැව් පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් 1950 දශකය වනතෙක් ම මෙම කාරක සභා වාර්තාවේ අඩංගු කරුණුවලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ලෙස නිවැරදිව ක්‍රියාවට නැංවූයේ ජාතික භාෂා අධ්‍යාපනයට යොදා ගැනීම පමණක් බැව් බැලූ බැල්මට ම පෙනේ. කන්නන්ගර මහතා කිසිම අවස්ථාවක ජාත්‍යන්තර භාෂාව ඉගැනීම සහ ඉගැන්වීම අධෛර්යමත් කරන්නට අදහස් නොකළේ ය. නමුත් ක්‍රියාත්මක කිරීමේ දී සැබවින් ම සිදුවූයේ එය යි. 1960-61 දී සිදු වූ විශේෂිත ම සිදුවීමක් වූයේ පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම යි. ඒකාබද්ධ ජාතික අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට ‘ජාතික අධ්‍යාපන කොමිසමක්’ මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණි. ඒ අනුව අනිවාර්ය පාසල් වයස අවුරුදු 6 සිට 14 දක්වා කිරීමට ත්, ඉංග්‍රීසි වෛකල්පිත විෂයයක් ලෙස 05වන ශ්‍රේණියේ සිට හඳුන්වා දීමට ත්, කනිෂ්ඨ අවධිය ලෙස පළමු ශ්‍රේණියේ සිට 08 ශ්‍රේණිය දක්වා නම් කිරීමට ත්, ජ්‍යෙෂ්ඨ අවධිය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ලෙස ත් නම් කරන ලදී. කෘෂිකර්මය, ඉංජිනේරු විද්‍යාව, තාක්ෂණ විද්‍යාව, විද්‍යා සහ කලා, වාණිජ්‍ය විද්‍යාව සහ මානව ශාස්ත්‍රය ඉගැන්වීම නිර්දේශ කරන ලදී. මූලික පාසලට පොදු විෂය මාලාවක්, ජ්‍යෙෂ්ඨ පාසලට ඒ ඒ විෂය ධාරා අනුව විෂය මාලාවන් හඳුන්වා දීම, ශ්‍රම පුහුණුව ලබා දීම, ගුරු වෘත්තියට බඳවා ගැනීම සහ පුහුණුව ලබා දීම, ශිෂ්‍ය සුබසාධනය, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 08 ශ්‍රේණියේ දී පැවැත්වීම, පාසල් මනෝවිද්‍යාත්මක සේවාවක් ලබා දීම, අධ්‍යාපන කළමනාකාරිත්වය, පාසල් ප්‍රජා සම්බන්ධතා ආදිය නිර්දේශ කරන ලදී. ආණ්ඩු මාරුවත් සමඟ රටේ අවාසනාවට එය ද ලොප් විය.

නැවතත් 1966වනවිට අලුත් ‘ධවල පත්‍රිකාවක්’ සැකසුණි. ඊට අනුව අටවන ශ්‍රේණිය තෙක් පොදු මූලික පාසලක් තිබිය යුතු බවත් ඒ අවධිය අවසානයේ තෝරා ගැනීමේ විභාගයකින් සිසුන් ‍ප්‍රාදේශීය ප්‍රායෝගික පාසලකට හෝ ජ්‍යෙෂ්ඨ පාසලකට යොමුකළ යුතු බව ත් නිර්දේශ කෙරුණි.ඊට අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා‍ව ලැබෙන්නේ ද්විතීයික පාසලකට අතුළත් වී සුදුසුකම් සපුරනු ලැබූ සිසුන්ට පමණි. ඇති වූ දැඩි විරෝධතා හමුවේ මූලික පාසල් විභාගය 7වන ශ්‍රේණියේ දී පැවැත්වීමටත් සිසුන් ජ්‍යෙෂ්ඨ පාසලකට හෝ තාක්ෂණික විද්‍යාලයකට හෝ ලලිත කලා ආයතනයකට හෝ ඇතුළුවීමත් වශයෙන් සංශෝධනය විය. විෂයමාලා සංවර්ධනය සම්බන්ධයෙන් ඇති වූ බලපෑම මත අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජිත ආයතනයක් වශයෙන් “විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය (CDC) වර්ධනය විය. මේ කිසිදු තැනකින් රටට අවැසි ලෙස යෝජනා සකස් වුව ද ක්‍රියාත්මක වීමේ දී විරෝධතා මතු විය. එයින් ර‍ට දිගින් දිගට ම ආපස්සට යාමක් සිදු විය.

නැවතත් 1970 දී සිදුවන ආණ්ඩු පෙරළියත් සමඟ නව අධ්‍යාපන යෝජනාවලියක අවශ්‍යතාව මතු විය. “රැකියාව සහ සිසුන් ලබා ගන්නා අධ්‍යාපනය අතර පවතින දූරස්ථභාවය” පිළිබඳ මෙහි දී දැඩි ලෙස අවධානයට ලක් විය. 1971 ඇති වූ තරුණ කරැල්ල ද මෙහි ලා බලපෑවේ ය. එහි ප්‍රධාන සංරචකයන් ලෙස පාසල් ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් ලෙස පොදු අධ්‍යයන ජාතික සහතිකය (NCGE) සහ උසස් ජාතික අධ්‍යාපන සහතිකය (HNCE) හඳුන්වා දෙනු ලැබිණි. ප්‍රාථමික විෂය මාලාව, කනිෂ්ඨ ද්විතීයික විෂය මාලාව, තාක්ෂණික විෂයයන් වෙනු‍වට වෘත්තීය විෂයයන් හඳුන්වා දීම, අධ්‍යාපන පරිපාලන සේවය ආරම්භ කිරීම ආදිය සිදු විය. එහිදී මූලිකත්වය ලබා දෙන ලද්දේ වඩාත් අදාළ විෂයමාලාවක් ගොඩනැඟීමටත් වැඩ ලෝකයට අවහ්‍ය හැකියා දියුණු කර ගැනීමට සිසුනට අවස්ථා සලසා දීමටත් ය. ඒ අනුව කනිෂ්ඨ ද්වතීයික අවධියට පොදු වූ විෂය මාලාවක් සෑම පුරවැසියකුට ම ලබාදීමට ත් ජ්‍යෙෂ්ඨ ද්විතීයික විෂය මාලාව සාමාන්‍ය පොදු කොටසකින් හා උසස් අධ්‍යාපනයට අවතීර්ණවන සිසුවකුට අවශ්‍යවන විෂය විශේෂීකරණය සපයන කොටසකින් ද සමන්විත විය. උසස් අධ්‍යාපනයට අපේක්ෂා කරන නමුත් අපොහොසත්වන විශාල සිසු සංඛ්‍යාවකගේ අවශ්‍යතා එමඟින් ඉටු විය. විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුනට කිසියම් රික්තකයක් වේ නම් එය පුරවාලනු පිණිස පදනම් වර්ෂයක් ද යෝජනා විය. නමුත් අවාසනාවට ඊට ලැබුනේ අමුතු විදියේ විවේචනයන් ය. පාසල් අවධිය වයස 12 සිට 11 දක්වා අඩු කිරීමේ යෝජනාව සහ පළමු‍ ශ්‍රේණියට ඇතුළු කිරීෆම් වයස අවුරුදු 06 කිරීමට කර තිබූ යෝජනා විවේචකයන් දුටුවේ රජයේ වියදම් අඩු කිරීමට සිදුකරන ලද්දක් ලෙස ය. එය ජනතාවට ඒත්තු ගන්වන්නට ඔවුහු සමත් වූහ.

ඉන් අනතුරුව 1977දී නව රජයක් පත්වූ සැණින් පළමු ශ්‍රේණියට අතුළත් කර ගැනීමේ වයස අවුරුදු 05 දක්වා අඩු කරන ලදී. පාසල් අවධිය 11 සිට 13 දක්වා වැඩි කරන ලදී. ඒ අතර ම විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානවෙත දේශපාලන හිතවත්කම් මත නව මුහුණු ගෙන්වී ය. ඉන් අනතුරුව 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් වෙයි. අධ්‍යාපන සංශෝධන කාරක සභාව සහ ජාතික ආධුනිකත්ව පුහුණු කාරක සභාව මෙන් ම තාක්ෂණ අධ්‍යාපන කාරකසභාවේ කරුණු ඊට පදනම් විය. ඊට අනුව පාසල් අවධිය අවධීන් 05ක් යටතේ අවුරුදු 13 දක්වා වැඩි කිරීමට යෝජනා විය. පාසල් පර්ෂද ක්‍රමයක් යෝජනා කෙරුණි. ගුරු සේවයට අලුතින් බඳවා ගත් අය පාසල වෙත යැවීමට ප්‍රථම පුහුණුවක් ලබා දීම අනිවාර්යය කෙරුණි. දිස්ත්‍රික් ගුරු සේවයක් ස්ථාපිත කිරීමට යෝජනා විය. විෂයයන් 09ක් සමඟ අඛණ්ඩ ඇගයීම් සංකල්පය හඳුන්වා දෙන ලදී. ද්විතීයික ජ්‍යෙෂ්ඨ අවධියේ දී ද සාමාන්‍ය අධ්‍යාපනය අවධාරණය කෙරුණි. විද්‍යාලයීය මට්ටමේ දී විශ්වවිද්‍යාල හෝ තාක්ෂණික මට්ටමට යොමු කරවන්නට යෝජනා විය. ‘හර’ විෂයයන් සහ ‘විශේෂිත’ විෂයයන් හඳුන්වා දෙන ලදී. කෙසේවෙතත් මෙයින් සිදු වූ විශාල ම මෙහෙය වූයේ 1985 දී පාර්ලිමේන්තු පනතක් මඟින් ජාතික අධ්‍යාපන ආයතනය (NIE) පිහිටුවීම සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීම ය.

ඉන් අනතුරු ව 1987 දී අධ්‍යාපන අමාත්‍යංශයට තිබුනු බොහෝ වගකීම් පළාත්වලට විමධ්‍යගත කරන ලදී. මේ නිසා දේශපාලන ඇඟිලි ගැනීම් වැඩිවීම සහ වැය ශීර්ෂයේ ඉහළ යාමක් ද සිදු විය. 88-89 දෙවන තරුණ කැරැල්ලට ප්‍රධාන හේතුව වශයෙන් පසුව හඳුනාගනු ලැබූයේ අධ්‍යාපනයේ ගැටලු ය. ඒ අනුව 1991 අංක 19 දරණ පනත මඟින් ‘ජාතික අධ්‍යාපන කොමිසම’ පිහිටුවන ලදී. ඒ අනුව අධ්‍යාපන ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ගුණාත්මක සංවර්ධනය, ගුරු වෘත්තියේ සංවර්ධනය, අධ්‍යාපනයේ තාක්ෂණික සහ ප්‍රා‍යෝගික කුශලතා සංවර්ධනය, අධ්‍යාපනයේ කළමනාකරණ සහ සම්පත් සැපයීම වේගවත් කිරීම ආදිය යෝජනා කෙරුණි. මේවා 1988 ජනවාරියේ සිට ක්‍රියාත්මක විය. ඊට අනුව විෂයමාලා චක්‍රය අවුරුදු 08ක් බවට පත් කරන ලදී. නමුත් නායකත්වයේ සිදු වූ වෙනස්කම් නිසා මෙම වෙනස්කම් අත්හැර දමන ලදී. ඉන් අනතුරුව ප්‍රධාන වශයෙන් 1992, 1997, 1999, 2003, 2009-10‍ සහ ආණ්ඩු මාරු වීමත් සමඟ විවිධ වෙනස්කම් සිදු වුව ද අධ්‍යාපනයේ තරඟකාරිත්වයට ලොව සමඟ මුහුණදීමට හැකි තත්ත්වයක් රටට උරුම නොවුණි. විෂයමාලා සංවර්ධනය, ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනය, අත්‍යවශ්‍ය ඉගෙනුම් හැකියා හඳුනා ගැනීම, ඉංග්‍රීසි අධ්‍යාපනයට වැඩි අනුබලයක් ලබා දීම වැනි දේ සිදුවුව ද ඒ සෙමිනි. ලෝක අධ්‍යාපනයේ සිදුවන සංවර්ධනයට සාපෙක්ෂ ව ලංකාවේ අධ්‍යාපනය පැමිණියේ ඉබි ගමනිනි. අනිවාර්ය අධ්‍යාපනයේ යෙදෙන්නන් 83%ක් වීම, තියුණු පාසල් විෂමතාවය, ජනප්‍රිය පාසල් තරඟය, අත්‍යවශ්‍ය සම්පත් හිඟය, අධ්‍යාපන සේවාවන්හි නියුක්තිකයන්ගේ ගැටලු, විභාග මුල්කර‍ගත් ඇගයීම් ක්‍රමයේ දුර්වලතා, අන්තර්කරණයේ සහ උපදේශන සේවාවල දුර්වලතා සහ හිඟය, තෘතීය අධ්‍යාපන අවස්ථා සීමා වීම ආදිය තවමත් ඔඩුදුවන ගැටලු ය.

21වන සියවසේ අධ්‍යාපනය ගමන් කරනුයේ ඉහත අඩුපාඩු මකා දමමිනි. ෆින්ලන්තය, ස්විට්සරලන්තය, සිංගප්පූරුව, ජපානය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, නෙදර්ලන්තය, පෝලන්තය, ඩෙන්මාර්ක්, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඊශ්‍රායලය, දකුණු කොරියාව, චෙක් රාජ්‍ය ආදී රටවල් ලොව හොඳ ම අධ්‍යාපනය ලබා දෙන රටවල් බවට පත් වී තිබේ. මේ දෙස බලන්නට අපට දැන් අවකාශ ලැබී තිබේ. වත්මන් රජය ද පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. ‘ඩිජිටල් වේදිකාව’ සංකල්පයක් හඳුන්වා දෙමින් පුරවැසියාගෙන් නව ප්‍රතිසංස්කරණයක් සඳහා අදහස් ලබා ගැනීම ආරම්භ කොට තිබේ. විශේෂයෙන් ම ව්‍යාපෘති පාදක ඉගෙනීම, කණ්ඩායම් ඉගෙනුම් ක්‍රමය, ක්‍රීඩා මෙවලම් තුළින් අධ්‍යාපනය, ගැටලු මත පදනම් වූ ‍ඉගෙනුම, නිර්මාණාත්මක සිතීම, සිතීම පදනම් කරගත් අධ්‍යාපනය, නිපුණතා පාදක ඉගෙනීම ආදිය පිළිබඳ සිතීමට කාලය එළඹ තිබේ. දශක ගණනාවක් ම අප රටේ අධ්‍යාපනයට සිදු වූයේ ආණ්ඩු මාරුවත් සමඟ මාරු වෙන්නට ය. අවශ්‍යතාව හඳුනාගත්ත ද ක්‍රියාත්මක කිරීමේ ගැටලු ය. ලෝක ප්‍රවණතා කෙරෙහි යොමු නොවී ම ය. විහේෂයෙන් ම ‘මිනිස් ශරීරය තුළ සිටින කුශලතා පිරිපුන් මිනිසා මතුකර ගැනීමේ දුර්වලතාවය’ අපේ අධ්‍යාපන ක්‍රමය වසා සිටින රකුසෙකු සේ ය. මේ සියල්ල මත පදනම් ව රටේ අධ්‍යාපනය නිවැරදිව දිශානුගත කළහොත් 93%කට ආසන්න සාක්ෂරතාවක් තිබෙන ර‍ට සංවර්ධන මාවතට යොමු කරන්නට අපහසු නොවනු ඇත. ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතනතුළින් ලබා දිය හැකි උපරි ම සේවය ලබාදීමට අවස්ථාව එවිට උදාවෙනු ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඵලදායී දියුණුවක් අපේක්ෂා කළ හැකි ය. නිසැකයෙන් ම එසේ වුවහොත් ලංකාව රටක් ලෙස ඉදිරියට යනු ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ දී ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment