දිලංක ගුණතිලක
ජනාධිපති සමාව මත නිදහස ලැබූ එල්ටීටීඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියා සඳහා මූල්‍යාධාර ලබා දීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) යාපනයේදී පැවැත්විණ.
උතුරු පලාතේ කොවිඩ් වෛරසය පැතිරීයාම වැළැක්වීම වෙනුවෙන් මේවන විට ගෙන ඇති පියවරයන් සමාලෝචනය කිරීම වෙනුවෙන් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යාපනයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම මූල්‍ය පරිත්‍යාගයන් ලබාදීම සිදුකෙරිණ.
එම කර්තව්‍යය ආරක්ෂක සේනා ආඥාපති – යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ සම්බන්ධීකරණයෙන් සමාජ ක්‍රියාකාරියෙකු සහ දානපතියෙකු වන වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් මහතාගේ අනුග්‍රාහකත්වයෙන් එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ මූල්‍යාධාර ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා ඇතුලු කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
මූල්‍යාධාර ලබාදීමට අනුග්‍රාහකත්වය ලබාදුන් වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් මහතාට සිය බලවත් ස්තූතිය හා කෘතඥතාව පළකරමින් විශේෂ සමරු තිළිණයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්රදානය කළ අතර, එම ප්‍රතිලාභීන් සමඟ අදහස් කිහිපයක් හුවමාරු කරගත්තේය. දැඩි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.