අදිසි හස්තයක් නිසා ලිට්රෝ ගෑස් අර්බුදයක

by admindasun
0 comment 135 views

ලිට්රෝ ගෑස් යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින සමාගම් හා ආයතන අතරින්, 2010 නොවැම්බර් මාසයේ සිට මේ දක්වා රටේ වැඩියෙන්ම ලාභ ලබන සමාගම වන අතර, රටේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස් වෙළඳපොළේ 80% ක ප්‍රතිශතයක් එම සමාගම සතු ය. එමෙන්ම එම සමාගම රටේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ පවා මහා භාණ්ඩාගාරයට හෝ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි අනෙකුත් ආයතන වලට බරක් නොවී ව්‍යාපාර කටයුතු සිදුකිරීමට සමත් වූ ආයතනය ස්වල්පය අතරින් එකකි.

ලිට්රෝ සමාගමට ඕනෑම බහුජාතික සමාගමක් සමග තරග කිරීමේ හැකියාව පවතින බව, සමාගම සුරැකීම සඳහා සමාගමේ සේවකයන් සහ සිවිල් සමාජයේ සාමාජිකයන් එකතු වී පිහිටුවාගන්නා ලද සංවිධානයක් වන ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ සංවිධානයේ අදහසයි. විශේෂයෙන්ම කාර්යක්ෂම කළමනාකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය හේතුවෙන් රටේම ගෑස් ඉල්ලුම සපුරාලිය හැකි, මෙට්‍රික් ටොන් 8,000 ක ධාරිතාවලින් යුත් කෙරවළපිටිය පිරවුම් මධ්‍යස්ථානය මෙම ශක්තියට ප්‍රධාන හේතුවකි.

සේවකයන් 225 දෙනෙකුට සෘජු රැකියා අවස්ථා සපයන ලිට්රෝ ආයතනයේ පිරවුම් මධ්‍යස්ථානය මසකට LP ගෑස් මෙට්‍රික් ටොන් 35,000 ක් පමණ හැසිරවීම සිදුකරයි. සමාගමේ වාර්ෂික පිරිවැටුම රු. බිලියන 50 ඉක්මවන අතර එය රටේ ආර්ථිකයට ප්‍රධානතම දායකත්වයක් දක්වන සමාගමක් ලෙස සැලකේ. ලිට්රෝ සමාගම ලාභාංශ ලෙස රු. බිලියන 13 ක් ද, බදු ලෙස රු. බිලියන 34 ක් ද ගෙවයි. කෙසේ වුවද 2019 ඔක්තෝබර් මාසයේ සිට 2021 අගෝස්තු මාසය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම මට්ටමක පවත්වා ගැනීමට සිදුවීම නිසා ලිට්රෝ සමාගම රු. බිලියන 8.5 ක පමණ අලාභයක් සිදුවී ඇත.

ලිට්රෝ සමාගම මේ වනවිට මුහුණ දී සිටින අර්බුදය දෙ-ආකාර ය. 1) වෙළඳපොළ තත්ත්වයන් අනුව සිලින්ඩරයක මිල තීරණය නොවීම නිසා සමාගමට දිගින් දිගටම පාඩු විඳීමට සිදුවී තිබේ. 2) පාර්ලිමේන්තු අනුකමිටුවේ නිර්දේශ අනුව වෙළඳපොළේ 80% ක් හිමි ලිට්රෝ සමාගමට 20% ක් වැනි කුඩා වෙළඳපොළ ප්‍රතිශතයක් හිමි ලාෆ්ස් හෝල්ඩින්ස් සමාගම මත තම ගෑස් සැපයුම රඳා පැවතීමට සැලසුම් කර ඇත. මෙම සාධක දෙකම, වසර 150 ක් පැරණි රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ ආයතනයට බෙහෙවින් අහිතකර බව විද්වතුන්ගේ අදහස වේ.

2021 ජූනි 27 දාතම සහිත පාර්ලිමේන්තු අනුකමිටු වාර්තාවේ 1 වන නිර්දේශය අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රු. 1493 ක උපරිම මිලක් නියම කර තිබේ. කෙසේ වුවද, 2021 අගෝස්තු 13 වන දින පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලාෆ්ස් ගෑස් සිලින්ඩර සඳහා පමණක් රු. 363 ක මිල වැඩිකිරීමක් අනුමත කරන ලදි. ශ්‍රී ලංකාවේ ගෑස් වෙළඳපොළේ 80% ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගමට එම අවස්ථාව ලබා නොදීම නිසා, මේ වනවිට එම සමාගමට එක් සිලින්ඩරයකට රු. 847 බැගින් දිනකට රු. මිලියන 80 ක සහ මසකට රු. බිලියන 2.2 ක අලාභයක් විඳීමට සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු, මෑතකදී සුසන්ත ද සිල්වා මහතා ප්‍රධාන විධායක නිලධාරී/සභාපති ලෙස පත්කරමින් පිහිටුවන ලද LP ගෑස් මිලදී ගැනීමේ ආයතනය වන සියොලිට් (පුද්.) සමාගමේ අරමුණ සහ එහි විශ්වාසනීයත්වය ප්‍රශ්න කර තිබේ. මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට, වෙළඳපොළේ 20% ක් පමණක් හිමි ලාෆ්ස් ගෑස් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ වරුන් දෙදෙනෙකු පත්කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, වෙළඳපොළේ 80% ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ සමාගම සඳහා ලබා දී ඇත්තේ අධ්‍යක්ෂ ධූරයන් 3 ක් පමණි. ප්‍රතිශතාත්මක වශයෙන් ගත්කල එම නියෝජනය සාධාරණ නොවන බව පැහැදිලි ය. එමෙන්ම ලාෆ්ස් සමාගම වෙතින් ගෑස් මිලදී ගැනීමට නම් එය ලාෆ්ස් සමාගමේ පිරවුම් මධ්‍යස්ථානය හරහා පමණක් සිදුකළ යුතු බව මෙම සියොලිට් සමාගම පවසයි. එසේ කිරීමට නම්, හම්බන්තොට පිහිටි ලාෆ්ස් පිරවුම් මධ්‍යස්ථානයේ සිට සාගරය ඔස්සේ කෙරවළපිටියේ පිහිටි ලිට්රෝ පිරවුම් මධ්‍යස්ථානයේ වෙත ගෑස් තොග රැගෙන යා යුතු ය. බෙහෙවින් ප්‍රාථමික ලෙස සැළකිය හැකි මෙම ක්‍රියාවලිය සඳහා අනවශ්‍ය ලෙස වාර 4ක නැව් ගමනාගමනයකට අතිරේක වියදමක් දරමින් ලාෆ්ස් ගෑස් වෙතින් ලබාගැනීමට ලිට්රෝ සමාගමට සිදු වනවා පමණක් නොව මෙම සමස්ථ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සඳහාද අතිරේක වියදමක් දැරීමටද ලිට්රෝ සමාගමට සිදු වේ. ලිට්රෝ හි අතිනවීන පහසුකම් සහිත කෙරවළපිටිය පිරවුම් මධ්‍යස්ථානය ඉදිකරන ලද්දේ පූර්ණ ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව වන අතර, රටේ ගෑස් සඳහා ඇති සමස්ත ඉල්ලුමෙන් 60% ක් බස්නාහිර පළාත තුළ පැවතීම එය කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට එක් ප්‍රධාන හේතුවක් විය. මෙම අදූරදර්ශී යෝජනා නිසා, ජාතික සම්පතක් වන කෙරවළපිටිය කර්මාන්තශාලාවේ පහසුකම් භාවිතා කිරීම අඩු වී, කල් ගතවන විට එය භාවිතා කළ නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි ඇතැම්හු බිය පළ කරති.

මෙලෙස මතුවී ඇති ගැටලු වලට ඉක්මනින් විසඳුම් නොලැබුණහොත් බරපතළ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුවෙහි අදහස වේ. එක් අතකින් ලාෆ්ස් සමාගම සතු පහසුකම් අධික ලෙස භාවිතා කිරීමට සිදුවීම මගින් බිඳවැටීම් සිදුවී ජාතික ගෑස් සැපයුම අඩපණ විය හැකි අතර, අනික් අතින් ලිට්රෝ සමාගමට වෙළඳපොළ අහිමි වී, ලාෆ්ස් සමාගමට වෙළඳපොළ ඒකාධිකාරියක් හිමිවීම ඔස්ස රටේ ජනතාවට අතිශයින් අවාසිදායක තත්ත්වයක් මතුවීමට ඉඩ ඇත.

කැබිනට් නිර්දේශ අනුව, LP ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව සොයාබැලීම පිණිස මාස 6 ක අත්හදා බැලීමේ කාලයක් සඳහා කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ බොහොමයක් ලිට්රෝ සමාගමට අතිශයින් අවාසිදායක ය. මෙමගින් ආයෝජකයන් තුළ ඇති විශ්වාසය පලුදු වීම, විනිවිදභාවය සම්බන්ධ ගැටලු මතුවීම සහ අතිරේක වියදම් නිසා ඒකකයක් සඳහා වැයවන වියදම ඉහළ යාම වැනි ගැටලු ඇතිවීමට ඉඩ ඇත. මෙම ප්‍රතිව්‍යුහගතකරණය නිසා අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ ලාෆ්ස් සමාගමට වාසි සැලසීම සහ, ලිට්රෝ සමාගම අර්බුදයට යාම හෝ බිඳවැටීම ය.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ලිට්රෝ සමාගමේ ස්වාධීනත්වය උල්ලංඝනය නොකර, සමාගම දැනට මුහුණ දී අර්බුදයට තිරසාර විසඳුමක් සපයා දිය යුතු බව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව අවධාරණය කරති. 2019 වසරේ සිදුවූ පසුබෑමට පෙර ලිට්රෝ සමාගම එම ස්වාධීන තත්ත්වයන් යටතේ ඉතාමත් සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතු සිදුකර තිබේ.

මේ ආකාරයට වෙළඳපොළේ 80% ක් හිමි අතිශයින් සාර්ථක සමාගමක්, 20% ක් වැනි කුඩා වෙළඳපොළ ප්‍රතිශතයක් හිමි බංකොළොත් තරගකරුවෙකු මත රඳාපවතින තත්ත්වයක් ඇතිකරමින් එම තරගකරුට ඒකාධිකාරියක් ගොඩනංවා ගැනීමට අවස්ථාව සලසා දීමට දරන උත්සාහය පසුපස ඇති සැබෑ අරමුණ කුමක්ද යන්න සොයා බැලිය යුතු ය. තමන් දැනට මුහුණ දී සිටින තාවකාලික පසුබෑමෙන් මිදීමට පමණක් නොව, තරගකරු සතු යටිතල පහසුකම්ද ලාභදායී ලෙස කළමනාකරණය කරමින්, ඒ සඳහා මූල්‍ය පහසුකම් සැපයූ අනෙකුත් ආයතනද එම අර්බුදයෙන් මුදවා ගැනීමට අවශ්‍ය හැකියාව සහ ධාරිතාව පැහැදිලිවම ලිට්රෝ සමාගම සතු ය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment