(පරිසරවේදී නයනක රන්වැල්ල)
ලංකාව යටත් කිරීමට පැමිණී විදේශීය ආක්‍රමණිකයින් පුදුමයට පත් වූ එක් පෘථුල කාරණාවක් වුයේ ලංකාවේ වාරි කර්මාන්තයයි.විශේෂයෙන්ම ඔව්හූ මහ වැව් පද්ධති දැක පුදුමයෙනුත් පුදුමයට පත් වුහ.එහෙත් ඇත්තටම කුඩා වැව් පද්ධති හෙවත් එල්ලංගාව ද ලංකාවේ සුවිශේෂීම වැදගත් වාරි පද්ධතියකි.මේ ක්‍රම දෙකම ඉතාම විද්‍යාත්මක මුලයන්ට අනුව සකස් කළ විස්මිත නිර්මාණ බව නම් පැහැදිලි කරැණකි.
වාරි තාක්ෂණයෙන් ලොව පළමු රට
ඉහතින් සඳහන් කළ ආකාරයටම අපේ වාරි තාක්ෂණය අසමසම වුවකි.
“පෙර කල කරන ලද අති විශාල වැව් කර්මාන්ත සමහර විට ලක්දිව තරම් ලොව අන්කිසි රටක දක්නට නොලැබෙන්නේ ය යනු මගේ විශ්වාසය යි” බදුලු දිසාවේ උප එජන්තව සිටි බේලි 1815 දී සිය රපෝර්තුවක එසේ සටහන් කර තිබුනේ ඒ නිසා විය යුතුය.
ලෝකයක් මවිත වූ මධ්‍යම මිසරයේ තිබෙන ‘මෝරිස්’ විලත්,අරාබියේ මාරෙබ්හි ගුප්ත වු ‘අල් අරම්’ වැව හා කරට කර එන විසල් වැව් අපේ කුඩා රට තුළ ද දක්නට ඇත.’අජ්මීර්’ ජාතිකයන් විසින් සකසන ලද ‘ඉස්පහන්’ නගරයෙහි ‘කොහරඩ්’ නමැති වැවත්, මහිසෝර් හි ‘හයිඩර්’ නම් ජලාශයත් පරදන තරමේ වැව් ඕනෑවටත් වඩා අප සතුව තිබේ.
අපේ යෝධ ඇළ වැනි ඇළ මාර්ග ද ලොව කිසිම රටකට දෙවැනි නැත.හැසරියා හි තිබෙන වාරි පද්ධති,පර්සියාවේ තිබෙන ඇළවල්වත්,පේරැහි තිබෙන ජල මාර්ග සියල්ලමත් මින්නේරි වැව සහ පරාක්‍රම සමුද්‍රය අඹන් ගඟට යා කිරීමට තනන ලද ඇලහැර ඇළ හා සැසදීමේ දී විශාලත්වයෙන් සමාන කළ නොහැකි බව ආර්.එල්. බ්‍රෝහියර් සිය “Ancient Irrigation” කෘතියේ දක්වා තිබෙන්නේ ද මේ නිසා ය.එහෙත් අද ඒ මහ වාරි පද්ධති අමු අමුවේ ඝාතනය කරමින් තිබේ.
වැව යනු ටැංකියක් ද?
ඇතැම් සුදු ජාතිකයන් වැව් පද්ධති වර්ණනා කළ ද තවත් සුදු ජාතිකයන් වැව හැදින්වීමට ඉංග්‍රීසි භාෂාවෙන් භාවිත කරන ලද්දේ ‘Tank’ යන සරල පදය යි.වැව ඔවුන්ට දිස් වුයේ විශාල ටැංකියක් ආකාරයෙන් වුවත් ඇත්තටම වැවක් යනු එවැනි අජීවී අංගයක් නොවේ.
එය විශේෂ ආකාරයට තනන ලද ජීවය පොවන ලද පරිසර පද්ධතියකි.සැබැවින්ම වැව හුස්ම ගනී.ඔබ ඉපැරණි වැවක් අසලට ගොස් එයට ඒකාත්මික වු දිනෙක එම වැව හුස්ම ගන්නා හඬ ඇසෙණූ නොඅනුමාන ය.එහෙත් දැන් කාලයක සිට වැව් හුස්ම ගන්නේ අසිරැවෙන් බව කිව යුතුව තිබේ.සමහර වැව් මියගොස් තිබේ.සමහර වැව් මරා දමා ඇත.ඉතිරි ටිකත් මරා දමමින් තිබේ.
පැරකුම් සමුදුර ද හුස්ම ගන්නේ අමාරැවෙනි
පැරකුම් සමුදුර වැනි ලෝකයක් මවිත කළ වැව් පවා අද හුස්ම ගන්නේ අසිරැවෙන් යැයි කීම මුසාවක් නොවේ.ඒවායේ අත්‍යවශ්‍ය අංගයක් වන වැව් තාඋල්ල අද දක්නට නැති තරම් ය.ඒ බිම් අල්ලා ඒවායේ තිබු වනාන්තර විනාශ කර හෝටල් තනා තිබේ.නැතිනම් ඉඩම් මංකොල්ල කා තිබේ.
ලංකාවේ පසුගිය දශක කිහිපයකම සිටි පාලකයන් අපේ වැව් පද්ධතියේ ගෙල සිර කිරීමට නොගත් උත්සහායක් නොමැති තරම් ය.එහෙත් ඒ සියල්ල මැද ද මේ වැව් තවමත් අසිරැවෙන් හුස්ම ගනිති.
මේ වැව් ගැන මෙතෙක් ලීවේ පැරකුම් සමුදුර අද මුහුණ දී තිබෙන ඛේදාන්තය නිසා ය.ඇත්තටම පැරකුම් සමුදුර ලංකාවේ අතීතය ගැන ලෝකයට කියන අසමසම නිර්මාණයකි.එය ඉදීකිරීම ම විශ්ම කර්ම වැඩකි.
වැව් බැඳී සංස්කෘතිය
ලංකාවේ පැරණි ජනාවාස පැතිරී තිබුණේ වියළි කලාපයේ ය. ජලය එකල ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව විය.වැව් නිර්මාණය වන්නේ එකි ගැටලුව පරාජය කිරීම සඳහා ය.භූ විෂමතාවය,භූ ව්‍යූහය,ජලවහනය,වර්ෂා ජලය,ජල උල්පත්,ජන ගහණ ඝණත්වය,වගා බිම් ප්‍රමාණය,වනාන්තර වල පිහිටීම වැනි කරුණු වැව් තැනීමේ දී මුලික වශයෙන් සැලකිල්ලට ගත් බව පෙනෙන්නට ඇත.
වැව් බැම්ම
වැවක මුලික අංග ගණනාවකි.ඒවා ගැන මෙහි වෙන් වෙන්ව විස්තර කිරීමට උත්සහා නොකරමි.එහෙත් වැව් බැම්ම හා රළපනාව පිළිබඳ මෙහි කරැණූ කෙටියෙන් දක්වමි.ඒ ගැන ඉතාම සරලව තප්පුලන හරක් සුලබ නිසා ය.
වැව් බැම්ම යනූ වැවක ප්‍රමුඛම අංගයකි.වැවකට එක් රැස් වන විශාල ජලධාරීතාව දරා ගන්නේ, ඉදි කරන ලද මේ විසල් බැම්ම ය.එය ශක්තිමත් විය යුතුය. එමෙන්ම ඉදිකිරීමේන් පසුව වැව් බැම්ම ගිලා නොබැසිය යුතුය. පැරණි වාරි ශිල්පීන් විසින් මෙම කරුණු සැලකිල්ලට ගෙන වැව් බැම්ම නිර්මාණය කිරිමේ දී පොළවේ පිහිටි ගලක් හෝ ඉතාම තද පස් ස්ථරයක් තිබෙන ස්ථානයක් තෝරාගෙන එම ස්ථානයේ වැව් බැම්ම ඉදිකර තිබේ.
වැව් බැම්ම ඉදිකිරීමේ දී ද පස් වර්ග කිහිපයක තට්ටු කිහිපයක් යොදා ගෙන ඉතා හොදින් ඒවා එකිනෙක තද කිරීමෙන් මෙම බැම්ම නිර්මාණය කර ඇත. වැව් බැම්ම නිර්මාණය කිරිමේ දී පස් එළිම හා පස් තැලිමට අලි සහ විශේෂ උපකරණ භාවිත කර ඇත. වැව් බැම්මක ශක්තිය තීරණය වුයේ පස් තැලීම මතය.වැවක සම්පුර්ණ ජලය පිරැණූ පසු ඇති කරන පිඩනය දරා ගැනීමත් එය කඩා ගෙන යාම නතර කිරීම සඳහා කම්පනය උරා ගැනීමේ විශේෂ හැකියාවකුත් මෙම බැම්ම සතු විය.
රළපනාව
බිසෝකොටුව හා රළපනාව ද වැව් බැම්මේ ආරක්ෂාව තවත් ඉහළ නංවන අංග දෙකකි.මේ අතරින් බිසෝකොටුව අති දියුණූ තාක්ෂණික මෙවලමකි.මෙම නිර්මාණය මගින් ජල පීඩනය පාලනය කරන බැවින් සොරොව්වත් වැව් බැම්මත් ආරක්ෂා වීම සිදු වේ.
රළපනාව ද එවැනිම වටිනාම අංගයකි
සලපනාව, රළපැන්නුම ලෙස ද මෙය හැදින්වේ. වැවක ඇතිවන ජල තරංග මගින් වැව් බැම්මට වන හානිය වැළැක්වීමට රළපනාව යෙදීම සිදු කර ඇත. වැව් බැම්මේ ඇතුළු පැත්තේ කලුගල් ඇතිරීම මගින් මෙලෙස බැම්ම ආරක්ෂා කරගැනීම රළපනාව යෙදීම ලෙස හදුන්වයි.පරාක්‍රම සමුද්‍රය වැනි විසල් වැව් සඳහා රළපනාවෙන් කෙරෙන මෙහෙවර අති මහත් ය.
රළපනාවේ ජිව පද්ධතිය
මීට අමතරව වැවේ ජීවත්වන මත්ස්‍ය ප්‍රජාවගේ ප්‍රජනක ජන්ම භුමි ලෙස ද මේ ගල් අතර සිදුරැ විශාල මෙහෙවරක් සිදු කරයි.වැවේ පිටවාන හා සොරොව් හරහා මහ ජල කඳක් පිටතට යන අවස්ථාවල කුඩා මසුන් සැඟවෙන්නේ මෙම ගල් අතර ඇති සිදුරැ තුළ ය.වැවේ ඊළඟ මත්ස්‍ය අස්වැන්න නිම වන්නේ ඒ කුඩා මසුන් හරහා ය.එලෙසම වැවේ ජලය සොරොව් මතින් එළියට ඇදි යන විට වැව් බැම්ම සේදී නොයාමට රළපනාව ඉටු කරන මෙහෙවර අති මහත් ය.මේ කරැණූ බොහෝ අය නොදනිති.
මේ සියල්ල ලිවේ පරකුම් සුමුදුරේ වැව් බැම්ම මත ඉදිකිරීමට යන ඇවිදින මං තීරැව නිසාවෙනි.ඒ පිළිබඳ පක්ෂව අදහස් දක්වන අය ගැන මට ඇත්තේ පුදුමයකි.ඔව්හූ තම පාලකයාගේ පා ලෙව කැම වෙනුවෙන් ඕනෑම පහත් වැඩක් සාධාරණීකරණය කරති.මේ රට අද මේ තත්ත්වයට වැටි ඇත්තේ තම පක්ෂයේ වරද නොපෙනෙන අන් පක්ෂවල පමණක් වරද පෙනෙන අය නිසා බව මම තරයේ විශ්වාස කරමි.
වැව් බැම්ම හා රළපනාව සමග සෙල්ලම් කරන අයට එහි වටිනාකම ඉහත දක්වා තිබේ.
දැන් කියන්නට යන්නේ මෙහි වෙනත් කතාවකි.මෙම වැව් බැම්ම හා රළපනාව වනසා මේ ආකාරයට “ජොගින් ට්‍රැක්” කියමින් පාලකයන් ජොගි නටන්නේ ඇයි ද යන්න විමසා බැලීම ද කළ යුතුව තිබේ.
පුරා විද්‍යා භුමියක් තුළ යමක් ඉදිකිරීම
පුරා විද්‍යා භුමියක් ලෙස හෝ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත වස්තුවක් ලෙස ගැසට් කර තිබෙන භුමියක එයට ආදාළ නොවන හා එයට හානි කරන කිසිඳු ඉදිකිරීමක් කළ හැකි නොවේ.එහෙයින් පැරකුම් සමුදුර මත හෝ වෙනත් එවැනි ඉපැරණි වැවක් මත මෙවැනි ආදාළ නොවන නවීකරණයක් කිරීම සම්පුර්ණයෙන්ම නීති විරෝධි වේ.යම් පාර්ශවයක් මෙයට අවසර ලබා දීම’ම ජාතික පුරා විද්‍යා පනත උල්ලංඝණය කිරීමකි.
මෙහි ජුගුප්සාජනකම කාරණාව වන්නේ රටේම වසංගත භිතීයක් තිබිය දී සංචාරණ සිමා මැදම මෙම ඊනියා ඉදි කිරීම් ඇරඹිමයි. එය ඉතාම පහත් ක්‍රියාවකි.යම් අයෙකු අධිකරණයට ගොස් හෝ මෙම ස්ථානයට පැමිණ මෙයට විරෝධයක් කුළු ගැන්වීම නතර කිරීම සඳහාම මෙම කාලය මේ සඳහා භාවිත කළ බව පැහැදිලි පෙනේ.
අපේ සංවර්ධන ප්‍රමුඛතාව කුමක් ද?
රටක් ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුත්තේ සිය සංවර්ධන ප්‍රමුඛතා කෙරෙහි ය.වර්තමානය වනවිට ලංකාව සිය දළ ජාතික ආදායමට වඩා වැඩි අගයක් ණය ගෙවන මට්ටමට පත්ව ඇත.එලෙසම රටේ අභ්‍යාන්තර විදේශ වත්කම් හිඟතාව, නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් ඉතාම භායානක ආර්ථික සුනාමියකට ද අප අද මුහුණ දෙමින් තිබේ.
එපමණක් ද නොව රට කලක සිටම දුවන්නේ විදේශ ණයවලිනි.ණය මුදල් ගෙන නිසි ආර්ථික ප්‍රමුඛතාවයකින් තොරව වියදම් කිරීමත් ඒ මුදල්වලින් ඉතා විශාල ප්‍රතිශතයක් සොරකම් කිරීමත් හේතුවෙන් රටේ ආදායම් දිනෙන් දිනම පහත බසිමින් තිබේ.එවැනි රටක මෙවැනි විගඩම්වලට එකඟ විය හැක්කේ පුන්නක්කු කන උන්දෑලාට පමණකි.
මේ සියල්ලම කරන්නේ සල්ලි ගසා කැමට බව පැහැදිලි කරැණකි.මෙතරම් අසිරැතා මැද පවා කරන්නේ ඒ නිසාම විය යුතුය.එපමණක් ද නොව කොරෝනා වසංගතයෙන් පණ අදින මිනිසුන්ට ප්‍රමාණවත් තරමට ඔක්සිජන් හා සෙසු පහසුකම් නොමැතිව සහ දැඩි සත්කාර ඒකක හා ඒවාට නිසි පුහුණුව ලත් මානව ප්‍රාග්ධනයේ හිඟයක් පවතින රටක
මෙවැනි ජොගි නටන්නේ ට්‍රැක් පැනපු උන් ය.
ඒවා කරන්නේ ද ණයට සල්ලි ගෙන ය.එලෙසම කාලා තෙල බස්සවා ගැනීමට ඇවිදින මිනිසුන් ඉතාම විරල ප්‍රදේශයකය. ලෝකයක් මවිත වන පුරා විද්‍යා ස්මාරක වනසමින් ය.සංචාරණ සිමා මැදම ය.ගැහිල්ලේ තරම ඉන් හිතා ගත හැකි ය.
සංචාරක ආකර්ශණය
ලංකාවට සංචාරකයන් පැමිණෙන මුලිකම කරැණූ තුනකි.ඉන් එකක්වන්නේ ලංකාවේ ඇති අපගේ පෞඩත්වය පෙන්වන අතීත නටඹුන් ය.දෙවැන්න වන්නේ අමිල වනජීවී විවිධත්වයයි.තෙවැන්න මනරම් වෙරළ තීර හා භුමි දර්ශනයි.මේවා නැත්නම් සංචාරකයන් ලංකාවට පැමිණීම සිදු නොවන බව මාගේ හැගීමයි.
ඔවුන් පැමිණෙන්නේ අපේ පුරා විද්‍යා නටඹුන් ඒ ආකාරයටම නැරඹිම සඳහා මිස අපේ රටේ ‘ඉන්ටලොක්’ ගල් හෝ කොන්ක්‍රීට් බලන්නට නොවේ.ඒවා බලන්නට අවශ්‍ය නම් ඔවුන්ට ඊට හොඳ ප්‍රමිතියේ ‘ඉන්ටලොක්’ ගල් හා කොන්ක්‍රීට් ඒ රටවලම තිබේ.එහෙයින් අපගේ පුරා විද්‍යා ස්මාරක ඒ ආකාරයටම ආරක්ෂා කිරීම පමණක් කළ යුතුව තිබේ.ඊට අමතරව කැණීම් හා ආදාළ ගැලපෙන ප්‍රතිසංස්කරණ කළ හැකි වුව ද මෙවැනි ‘ගොන් වැඩ’ ඒ යටතට නොවැටේ.
අඩු තරමින් පොළොන්නරැවේ ගොවීන් වී වෙලන්නේ ද තවමත් පාරවල් වල ය.එවැනි තැනක්වත් නැති තැනකට ජොගින් ට්‍රැක් යෝජනා කළ ට්‍රැක් පැනපු අය කවුද කියා දැන් ජනතාව දන්නවා ය.
මේ කාරණා සියල්ලම අනුව බලන කළ අපට කියන්නට තිබෙන්නේ මේ අපේ ම ශීෂ්ටාචාරයේ මිණිවල අපිම පත් කළ රජයෙන් කණීන අවස්ථාවක් බව පමණී.