චීනයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 09කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භාවිතා කරන පලංචි කණු ගෙන්වන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇති අතර මේවායේ වටිනාකම රුපියල් නවකෝටි අටලක්‍ෂ දාසයදහසක් පමණ වන බව රේගුව සඳහන් කරයි.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ග්‍රේලයින් 02 අංගනයේ රේගු නිලධාරීන් විසින් අද දින මෙම පලංචි තොගය පරීක්‍ෂා කිරීමේදී දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රධාන පෙළේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යකඩ සහ පලංචි ආනයනය කරන ව්‍යපාරිකයකු විසින් මෙම දුම්වැටි අඩංගු පලංචි කණු තොගය චීනයේ ෂෙන්චෝ වරායේ සිට අඩි 20 ක බහාලුමක පසුගිය පෙබරවාරි 28 වැනිදා කොළඹ වරායට ගෙන්වා තිබේ.
මෙම බහාලුම තුළ අඩි 10ක් දිග අඩි 484 ප්‍රමාණයේ දෙපසින් ලෝහ තහඩු යොදා වසා දමා තිබූ පලංචි කණු 344ක් තුළ දුම්වැටි කාටූන් 22 බැගින් සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව චීනයේ නිෂ්පාදිත වර්ග 6කට අයත් දුම්වැටි පහළොස් ලක්‍ෂ දහතුන්දහස් හයසීයක් අඩංගු දුම්වැටි කාටූන් 7568ක් රේගු අත්අඩංගුවට ගන්නා ලදී.
දුම්වැටි සහිත පලංචි කණු මෙරරටට ආනයනය කළ ආනයනයකරු සහ වාප්පු ලිපිකරු රේගු නිලධාරීන් විසින් වැඩිදුර විර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවීප්‍රිය මහතාගේ උපදෙස් මත කොළඹ ග්‍රෑන්ඩ්පාස් ග්‍රේලයින් 02 රේගු අංගනයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජගත් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරේ.
