මේ වන විට රජය විසින් විදේශ සංචාරයකයින් පියවරෙන් පියවර මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සිදු කර ඇති අතර එය කොවිඩ් තෙවන රැල්ල මෙරට තුළ ක්‍රියාත්මක වීමට ප්‍රධානතම හේතුව විය හැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ එම වැඩපිළිවෙළට අනුව යුක්රේනයේ සිට මේ වන විට සංචාරකයින් 200කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණි අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට කොවිඩ් – 19 ආසාධිතයින් බවට හදුනාගෙන ඇති බවයි.
පීසීආර් පරීක්ෂණ සිදු කර ඉන් කොවිඩ් ආසාධිතයින් නොවන බවට තහවුරු වූ අය පමණක් සංචාරකයින් ලෙස මෙරටට ගෙන්වා ගන්නා බව පැවසුණද මෙසේ පැමිණෙන අයත් කොවිඩ් ආසාධිතයින් විය හැකි බැවින් ඉන් ඇති අවදානම ඉතාමත් ඉහළ බවත් කුමුදේශ් මහතා පැවසුවේය.
එසේම මෙසේ පැමිණෙන සංචාරකයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් වන අතර එහිදී ආසාධිතයින් හදුනා ගැණුනහොත් එම වෛරසයේ ප්‍රභේදය පරීක්ෂා කිරීමට මෙරට විශ්වවිද්‍යාලයක සහාය ලබා ගැනීමට සිදු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ කුමුදේශ් මහතා චෝදනා කර සිටියේ ඉහළම තාක්ෂණයෙන් යුතු පරීක්ෂණාගාර සහ වෘත්තීයවේදීන් රජයේ පරීක්ෂණාගාරවල සිටියදී මෙම පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශය වෙත යොමු වීම පිළිබද සැක සහිත බවයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම තීරණ ගන්නා අය මෙම පෞද්ගලික රෝහල් සහ පරීක්ෂණාගාර සමග විවිධ සම්බන්ධතා ඇති බවටත් කුමුදේශ් මහතා චෝදනා කර සිටියේය.
කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය දියුණු කළ යුතු යැයි පවසමින් මෙම අවස්ථාවේදී සංචාරයකයින් මෙරටට ගෙන්වා ගැනීමත් ඒ සම්බන්ධ පරීක්ෂණ පෞද්ගලික සෞඛ්‍ය සේවා ලබා දෙන ආයතන හරහා සිදු කිරීමත් හේතු කොටගෙන මෙරට කොවිඩ් සම්බන්ධයෙන් වූ තෙවන රැල්ල ආරම්භ විය හැකි බව කුමුදේශ් මහතා කියා සිටියේය.
