විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලකුණක් සනිටුහන් කරමින් මෙරට ස්ථාපිත කරන ලද තම්බපවනි සුළං විදුලිබලගාර උද්‍යානය දෙසැම්බර් 08 වැනිදා විවෘත කෙරෙන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ වසර 7ක කාලය තුළ මේ රටේ කිසිම විදුලිබලාගාරයක් අලුතින් ආරම්භ කර නොමැති බවයි.
වසරක් පාසා ඉහළ යන විදුලිබල ඉල්ලුම හමුවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙනුවෙන් රටක් වශයෙන් අවධානය යොමු කළ යුතු අතර ඉදිරි අවුරුදු 10 ඇතුළත මෙගා වොට් 800ක විදුලි බල ශක්තියක් නිපදවීමට තම්බපවනි සුළං බල උද්‍යානයට හැකියාව ලැබෙන බවත් ඔහු කියා සිටියේය.
මන්නාරම දිස්ත්‍රික්කයේ තම්බපවනි සුළං බල උද්‍යානය ඉදිකිරීමේ දී ප්‍රධාන කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන තිබේ. මෙය 100%ක් ම පරිසර හිතකාමී අයුරින් ඉදිකර ඇත. පාරිසරික හානි ඇතිවීම වළක්වාගැනීම පිණිස සාමාන්‍යයෙන් සුලං විදුලිබලාගාරවල නැති රේඩාර් පවා සෑම සුලං පෙත්තකම නිර්මාණය කර ඇති බවත්, විශේෂයෙන් ම ප්‍රදේශයේ මහජනතාවට සවන්දෙමින්, ඔවුන්ගේ අදහස්වලට ඉඩ ලබාදෙමින්, මන්නාරම් කලාපයට මෙයින් වන බලපෑම සම්බන්ධයෙන් ද සමීක්ෂණයට ලක්කර, ජනතාවගේ පානීය ජලය, ඝණ අපද්‍රව්‍ය පරිවහනය සම්බන්ධ ව මන්නාරම ඇතුළු සමස්ත කලාපය තුළ ම ජනතාවගේ ආර්ථික සමාජයීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.
හෙට දින ජාතියට දායාද කිරීමට නියමිත මෙම සුළං බල ව්‍යාපෘතිය මගින් මෙගවොට් 103ක ධාරිතාවක් විදුලි බල පද්ධතියට මුදාහැරීමට අපේක්ෂිත ය. මේ සඳහා වෙන් කර ඇති ඩොලර් මිලියන 141ක සමස්ත ආයෝජනය තුළ ඉතිරිව ඇති මුදලින් තවත් ටර්බයින් යන්ත්‍ර 06ක් යෙදවීමට ද ඉදිරියේ දී කැබිනට් අනුමැතිය ලබාගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
රාජ්‍ය සහ පෞද්ගලික දෙපාර්ශවයේම සහයෝගය ලබාගනිමින් මෙයින් ඔබ්බට මෙම බලශක්ති සංවර්ධන කටයුතු පුළුල් කරගැනීමට ද තමා අපේක්ෂා කරන පැවසූ අමාත්‍යවරයා, මෙහි සැලසුම් සකස් කිරීම තුළ විදුලිබල මණ්ඩලය සතු ශක්තීන් සහ ශක්‍යතාවන් කෘතවේදී ව අගය කළේය.
එමෙන් ම දැනට ලෝකයේ ඇති සුළං බල ශක්තිය නිෂ්පාදනය සම්බන්ධ උසස් ම තාක්ෂණය ඒ ආකාරයෙන් ම තම්බපවනි උද්‍යානයට ලබාදෙන්නට සූදානම් බව ද ලංකා විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
පොසිල ඉන්ධනවලින් මෙරට විදුලිය ජනනය කිරීමට රුපියල් 30කට ආසන්න මුදලක් වැයවන නමුත් සුළ බල ශක්තියෙන් විදුලිය ජනනයට වැයවන්නේ විදුලි ඒකකයකට රුපියල් 8ත් 9ත් අතර මිලක් බව ද, මෙය රටේ ආර්ථිකයට විශාල සහනයක් මෙන් ම රටට භාග්‍යයක් බව ද පෙන්වාදුන් අමාත්‍යවරයා, මෙමගින් විදුලි ඒකක මිලියන 8000ක් බල ශක්තිය ඉදිරි වසර 20 තුළ රටට ලබාදෙන බව ද සඳහන් කළේය.
එමෙන් ම සුළං බලයෙන් විදුලි ජනනය තුළින් රටට ඉතිරිවෙන ඩීසල් ලීටර් මිලියන 2000ක් මේ අවුරුදු 20ක සිමාව තුළ දහනය නොකර ඉතිරි කරගන්නට හැකිවන බව ද, එමගින් අවම වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 5.7කින් පරිසරයට කාබන් මුදාහැරීම වළක්වාගත හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
තම්බපවනි සුළං බල උද්‍යානය පුනර්ජනනීය විදුලි බලාගාරයක් ලෙස ජාතික පද්ධතියට එක්වන මොහොත දක්වා මේ ක්‍රියාවලියට දායක වූ සියලු පාර්ශවකරුවන්ට දේශපාලන පසුබිම නොබලා කෘතවේදීත්වය පළ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම පුනර්ජනනීය බලයෙන් අපේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ඉදිරිපත්වන ඕනෑම ව්‍යවසායකත්වකට වසර 7ක බදුසහන ලබාදෙන බවත්, ඉදිරියේ දී මීට අදාළ නව කර්මාන්ත රාශියක් බිහිවිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඉදිරියේ දී සියඹලාන්ඩුවේ දී පළමු සූර්යබල උද්‍යානය ඉදිකරන්නට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
