කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දින 08 දී කළ පීසීආර් පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීයැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
පසුගිය දින හත ඇතුළත කොරෝනා ආසාදිතයන් 956 ක්ද, අද දිනය ඇතුළත කොරෝනා ආසාදිතයන් 180ක් පමණ ද තහවුරු කර ගැණුනු බව නගරාධිපතිවරිය කීවාය. කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව නගරාධිපතිනිය සඳහන් කළාය.
”මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් හමුවුණු දවසේ ඉඳලා අපි රැන්ඩම් චෙක් කළා. එදා ඉඳන් කරපු පීසීආර් පරීක්ෂණවලින් තමයි නවසිය ගණනක් හමුවුණේ.” යැයි ඒ් පිළිබඳ තහවුරු කර ගැනීමට කළ විමසීමක දී කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි රැන්ඩම් පීසීආර් කරනවා. පෑළියගොඩ සිද්ධිය දැනුවත් වුණ වහාම පසු අපි රැන්ඩම් පීසීආර් කළා. මොකද පෑළියගොඩට මෑන් පවර් යන්නේ කොළඹින්. රැන්ඩම්ලි කරපු ඒ්වාගෙන් 956ක් පොසිටිව් කියලා අපිට තහවුරු වූ තිබෙනවා. දවසට 300 පොසිටිව් වුණ අවස්ථා ද තිබුණා.අද උදේ වෙනකොට කරලා තිබ්බ පීසීආර්වලින් 956 දෙනෙක් පොසිටිව් වුණා. මේ දවස් 07ක් ඇතුළත කරපු පීසීආර් 5376කින් තමයි මේ ගණන පොසිටිව් වුණේ.
ඒ වගේම අද දවස ඇතුළත 180කට ආසන්න ගණනක් පොසිටිව් වෙලා තියෙනවා කියලා මට මගේ සෞඛ්‍ය අංශ දැනුම් දුන්නා. ඒ සමග මේ වෙද්දි කොළඹ මහනගර සීමාවේ 1150කට කිට්ටු වෙන්න කොරෝනා ආසාදිතයින් හමුවෙලා තියෙනවා මේ දවස් 07 ඇතුළත විතරක්. ඒ විදියට ගත්තම 32%-35% අතර පොසිටිව් වන ප්‍රතිශතයක් තියෙනවා. එක ආසාදිතයෙක්ගෙන් තුන් දෙනකු පොසිටිව් වෙලා තියෙනවා. එක ආසාදිතයෙක්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කරලා තව ආසාදිතයින් තුන් දෙනකු හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. හදිසියේ හරි මේ අය නිදහසේ සැරිසැරුවානම් තත්ත්වය බරපතළ වෙන්න තිබ්බා.
ඒ් වගේම අවාසනාවන්ත ලෙස අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හය දෙනකුටද කොරෝනා ආසාදනය වෙලා තියෙනවා.
අපි පැය 24ම පීසීආර් කරනවා. පොසිටිව් අය බස්වල දාලා අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා.අපි දැඩි වෙහෙසක් ගන්නවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශ මේකට ලොකු කැපකිරීමක් කරනවා. අපි හැමදාම බස් තුන හතරකින් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට යවනවා. ලොකු කාර්ය භාරයක් කරනවා.
