මැතිවරණ නීති වහා සංශෝධනයට

by admindasun
0 comment 26 views

විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේ ඔහු මේ බව පැවසුවේය.

මෙම හමුවේදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024  මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දී ඇත.

මැතිවරණයට අදාළ ඇප මුදල් සංශෝධනය කිරීම, මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්දය දැමීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙන සේ ඡන්ද හිමි නාම ලේඛනය මාස තුනකට වතාවක් යාවත්කාලීන කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම, මැතිවරණ වියදම් පාලනය, අබාධිත පුද්ගලයන්ට පහසුකම් සපිරි ඡන්ද මධ්‍යස්ථාන සකස්වීම සහ විශේෂ ව්‍යාපෘති යටතේ ඊ-ඡන්ද ක්‍රමය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේෂ් ධර්මවර්ධන (නීති), මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.අච්චුදන්, පර්යේෂණ හා සැලසුම් අධ්‍යක්ෂ චන්න පී. ද සිල්වා, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති  රේණුක පෙරේරා මහත්වරු එක්ව සිටියහ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment