2030 වන විට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80%ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ඉලක්ක කරා ළගා වීමට ගත යුතු පියවර සොයා බැලීමට පත් කළ දස පුද්ගල විද්වත් කමිටුව ඊයේ (10) පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මේ බව අවධාරණය කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජිකයින් පවසා සිටියේ පුනර්ජනනීය ප්‍රභවයන් නිරන්තරයෙන් ඒකාකාරී නොවන බැවින්, ඒ පිළිබදව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේම ලංකාව තුළ පවත්නා පුනර්ජනනීය ප්‍රභවයන්, වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්ද යන්න පිළිබදවත් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවී ඇති බවත්, ඒ අනුව යමින් ඉදිරි සංවර්ධන ඉලක්ක කරා ලගාවීමට නම්, රාජ්‍ය අංශයට සමගාමීව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරිකයන් මෙන්ම ආයෝජකයින් දිරිගැන්විය හැකි ක්‍රමෝපාවන් පිළිබදව සොයා බලන ලෙසත් අමාත්‍ය දිසානායක මහතා කියා සිටියේය.
