හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති හමුවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හෙට සිට සුදු බිත්තරයක් රු.18.00 කට හා රතු බිත්තරයක් රු.18.50 ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගත හැකිය.
නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙසේ බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පැවැසීය.
රටේ සමස්ථ බිත්තර නිෂ්පාදනයෙන් සියයට 70ක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය හරහා බෙදා හැරෙන අතර, අඩුකළ මිලට බිත්තර බෙදාහැරීමට එම සංගමය සුදානම් බව අග්‍රාමාත්‍යවරයාට මෙම හමුවේදී දැනුම් දුන්නේය.
බිත්තර මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රු. 350.00ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත්, එම මිල රු.175.00ක් දක්වා අඩු කර දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම මෙම විෂයභාර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා සම්බන්ධකරගත් අග්‍රාමාත්‍යවරයා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ මෙම ඉල්ලීම පිළිබඳව වහා අවධානය යොමුකර ඊට අවශ්‍යය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.
