ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට සැරසෙන 20 වන සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කර දැමීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා පැවසුවේය.
පිටකෝට්ට සෝලිස් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ යෝජිත 20 වන සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය තනි පුද්ගලයෙකුගේ අතට ගෙන ඇති අතර අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරු ජනාධිපතිගේ සාක්කුවේ දමාගෙන ඇති බවයි.
එසේම අග්‍රාමාත්‍ය තනතු හිස් ලියවිල්ලක් බවට පත්කොට ඇති බවත් වටගල මහතා කියා සිටියේය.
තවදුරටත් මාධ්‍ය ඇමතූ ඔහු මෙසේද පැවසුවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ඊ වගන්තියේ තිබෙනවා සෙසු අයගේ අයිතිවාසිකම් හා නන් අයගේ නිදහසට ගරු කරන්න ව්‍යවස්ථාව බැඳී සිටිනවා කියලා. නමුත් මේ සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය අමු අමුවේ උල්ලංඝනය කරලා. පැය 24ක් ඇතුලත අණපනත් සම්මත කරගන්න පුළුවන් නීතියක් ගෙනත් තිබෙනවා. ජනතාවට අධිකරණයට ගොස් එම නීති පිළිබඳව මතයක් විමසන්න අවස්ථාව අහිමි කරලා. මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේක? විශේෂයෙන් විගණකාධිපතිවරයාගේ බලතල අහෝසි කරලා. 19න් ස්ථාපිත කරපු විගණන කොමිසම බල රහිත කරලා. විගණනයක් අවශ්‍ය නැහැ කියලද මේ ආණ්ඩුව කියන්නේ.
රාජ්‍ය සේවයේ තනතුරකට යනවිට, පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන විට දිවුරුම් දිය යුතු අවස්ථා දෙකක් තිබෙනවා. 20 වැනි සංශෝධනයට අනුව ව්‍යවස්ථාවේ තිබෙන ‘වෙනම රාජ්‍යයක් සඳහා අනුබල නොදෙනවා’ කියන දිවුරුම සුක්ෂ්ම ලෙස මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් හලලා තිබෙනවා. පසුගිය දවස්වල දේශප්‍රේමය තවරාගත් පුද්ගලයින් කෑමොර දුන්නේ මේ වගේ දෙවල්වලට. නමුත් අද සිදුවෙලා තිබෙන්නේ කුමක්ද?
මෙය අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් බව පෙන්වා. අපි තවදුරටත් මෙය අධ්‍යයනය කරමින් ඉන්නවා. බැලූ බැල්මට මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවලට අනුව ජනතාවගේ පරමාධිපත්‍යයට බලපෑම් කරන සංශෝධනයක්. මේ සංශෝධනය එන්නේ 2/3කේ ජනවරමක් එක්ක. නමුත් ඡන්දය දුන්න ජනතාව විශ්වාස කරන්න නැතුව ඇති මෙවැනි ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධන ගෙන එයි කියලා. විශේෂයෙන්ම ආණ්ඩුවේ එක පවුලක බලය තහවුරු කර ගැනීමටයි මේ සංශෝධනය ගේන්නේ. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ කාරණය ගත්තත් එය පැහැදිලිය. තමන්ගේ පවුලේ ඇමරිකන් පුරවැසියෙකු පාර්ලිමේන්තු ගෙන්න, ඇමති මණ්ඩලයට ගන්න රටේ ව්‍යවස්ථාව වෙනස් කරනවා. මෙය ඉතාම ඛේදජනක තත්වයක්.
මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් ජාතික ජන බලවේගය නීතිඥයින් වන හර්ෂණ නානායක්කාර, උපුල් කුමරප්පෙරුම යන අයද අදහස් පල කර සිටියේය.
