ශ්‍රී ලංකාවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
09 වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක සැසිවාරය අමතමින් මීට සුළු මොහොතකට ජනාධිපතිවරයා පැවසුවේ 1978 සිට දැනට පවති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් සිදු කර ඇති බවයි.
එසේම එහි අවිනිශ්චිතභාවය සහ ව්‍යාකූලත්වය නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කිරීමට තම ඉල්ලූ ජනවරමට ජනතාව ඒ අයුරින්ම ප්‍රතිචාර දැක්වීම නිසා එම සංශෝධනය අහෝසි කිරීමේ කටයුතු ප්‍රමුඛතාවයෙන් යුතුව සිදු කරන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.
ඉන් පසුව සියලු දෙනා සමග එක්ව රටට ගැළපෙන සහ සුදුසු නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපතිවරයා පැවසුවේය.
තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී එක රටක් – එක ජාතියක් යන සංකල්පය යටතේ කටයුතු කරන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමේදී මැතිවරණ ක්‍රමයද වෙනස් කළ යුතු වන අතර සමානුපාතික ඡන්ද ක්‍රමයේ සාධනීය ලක්ෂණ ඉතිරි කරමින් ජනතාවගේ සෘජු නියෝජනය තහවුරු වන පරිදි නව ඡන්ද ක්‍රමයක් හදුන්වා දෙන බවත් ඔහු කියා සිටියේය.
