රිෂාඞ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීමට ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඇති බලය කුමක්දැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, යමෙකු අපරාධ වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලීමට කවර බලධාරියෙකුට වුව නොහැකි බව පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයේ මිනීමරුවන් පිළිබඳ කෙරුණු පරීක්ෂණ පසුගිය ආණ්ඩුව සමයේ වසා දැමුවේ කෙසේද කියා ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවට ඇවිත් පොලිස් නිලධාරීන් අද සාක්ෂි ලබා දෙනවා. ‘සීඅයිඩීයේ හිටපු ප්‍රධානියා අපට උපදෙස් දුන්නා, එක් ත්‍රස්තවාදියෙකුගේ ගෙදර තිබුණු සීසීටීවී දර්ශන මකා දමන්න. හේතුව තමයි ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඒ ගෙදරට ගිහින් තිබීම,’ යන්නත් මෙලෙස පොලිස් නිලධාරීන් ලබා දුන් සාක්ෂියක්. ඒ වහපු තොරතුරු අද මෙලෙස එළියට එනවා.
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ මල්ලි අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔප්පු කළ හැකි හේතු කාරණා සහිතවයි. දැන් එසේ හේතු කාරණා සහිතව රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පතිවරයාට, සීඅයිඩිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලිපි යවනවා මැතිවරණය අවසන් වන තෙක් රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න’ කියා. මා වුවත් අපරාධ වරදක් සිදු කළොත් අත්අඩංගුවට ගත යුතුයි. එවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කිව හැකිද ‘මැතිවරණය අවසන් වන තෙක් විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න’ කියලා. මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි බලයක් නැහැ, යැයි වීරවංශ මහතා පැවසුවේය.
