පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිපුරම ජනතාව පීඩාවට පත්වී සිටින ආර්ථික පීඩනයන් පිළිබඳව කතා කළත් මෙම මැතිවරණයේදී ඒ ගැන අවධානය යොමු නොකර ජාතිවාදය අවුස්සන, නිලධාරීන්ට බනින, වෙන ප්‍රශ්න මතුකරමින් සමාජයේ ඇත්ත ප්‍රශ්න යට කරගෙන යන තත්වයක් ඇති වී තිබෙන බව ජාතික ජන බලවේගය පැවසුවේය.
අද දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ජනතාවට විශාල වශයෙන් දෙනවා කිවුව සහන වෙනුවට ගැසට් පත්‍ර නිකුත් කරමින් භාණ්ඩ මිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
“2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත යොදාගෙන මුදල් ඇමතිවරයා ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බදු පටවමින් ඉන්නවා. මැයි මාසයේ 22වැනිදා ඉඳලා ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 26කට අයත් අත්‍යවශ්‍ය භාණ්ඩ 70කට වැඩි ප්‍රමාණයක බදු වැඩිකරලා. අර්තාපල් සහ ළුෑණුවලට රු. 50 බැගින්, වියළි මිරිස්වලට රු. 100, මිරිස්කුඩුවලට රු. 125, සීනිවලට රු. 50, සැමන්වලට රු. 100ක බද්දක් වශයෙන් විශාල බදු ප්‍රමාණයක් අලුතින් පටවා තිබෙනවා. කර්මාන්ත බිඳ වැටිලා, රස්සාවල් අහිමි වෙලා, ආදායම් මාර්ග ඇන හිටලා, ජනතාව අමාරුවෙන් ඉන්න වෙලාවක භාණ්ඩ මිල වැඩිකළා. මේ ආණ්ඩුව විශේෂයෙන් සැමන් සහ පරිප්පු එක්ක දේශපාලන සටන්පාඨ ඉදිරිපත් කළා. හැබැයි කොරෝනා එන්නත් කලින් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙන්න කලින් රට තුළ අඩුකරන්න කියන බලපෑම ආවා. නමුත් ආණ්ඩුව කීවේ තෙල් මිල අඩුකිරීමේ වාසිය වාහන තියෙන අයට විතරක් යන නිසා ඒ අඩු කිරීමේ වාසිය නොදී සැමන් සහ පරිප්පු මිල අඩු කරලා මුළු ජනතාවටම සහනය දෙනවා කීවා. කොරෝනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතූ කතාවේදී මේ බව නිවේදනය කළා. හැබැයි දැන් සැමන් ටින් එකට රු. 100ක බද්දක් ගහලා. රු. 65ට දෙන්න කථා කළ පරිප්පු අද වෙළඳපොළේ රු. 160යි. සීනි කිලෝඑක රු. 150යි. මේ විදිහට විශාල බදු ප්‍රමාණයක් ජනතාවට පටවලා. මේ ආණ්ඩුවට බඩුමිල අඩු කිරීමේ දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැහැ,” යැයි ටිල්වින් සිල්වා මහතා පවසයි.
