2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.
රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යංශ ලේකම්වරයාට සහ විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
