වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මාස හයක් ඉක්මවා යන අවස්ථාවේ රටේ නීතිය හා ආධිපත්‍යයට අදාළව බරපතළ බිඳවැටීම් ගණනාවක්ම තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සෘජුවම හෝ අනියම්ව ආණ්ඩුව වගකිව යුතු බව ජාතික ජන බලවේගය සන්ධානය පවසයි.
එම සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ජනතා විමුක්ත පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල අද දින මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ පසුගිය දිනෙක නීතිය අතට අරන් ක්‍රියා කළ ලීසිිං සමාගමට හෝ ලීසිං සමාගම්වල මෙම ක්‍රියාවලට එරෙහිව මේ වන තෙක් රජය විසින් නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ලීසිං පනත යටතේ යැයි කියමින් පොලිසියේ පැමිණිල්ලක් දමා වාහන පැහැර ගෙන යාමේ නීතිමය තත්ත්වයක් කිසි සේත්ම නොමැති අතර නිසි ක්‍රමවේදය වන්නේ එවැනි පැමිණිල්ලක් පොලිසියට කිරීමෙන් පසු පොලිස් නිළධාරීන් නිසි ලෙස අදාළ පරීක්ෂණ පවත්වා නීතිමය ක්‍රියාදාමයකට යටත් කර අදාළ වාහනය සමාගම වෙත ලබා ගැනීම බවයි.
එනමුත් පොලීසියේ පැමිණිල්ලක් දමා වාහනයක් රැගෙන යන කල්ලි බිහිවී තිබීම නීතිමය තත්වයක් නොවන බවත් වටගල මහතා පැවසුවේය.
“අද ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න ගිය සංවිධානයක නායකයෙක් ඝාතනයට ලක්වෙන තැනට වර්ධනය වෙලා. මේක තනිකරම නීතිය වල් වැදුනු තත්වයක්. ඒ වගේම වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළව ඊට අදාළ අධිකාරිය වත්මන් ආණ්ඩුව යටතේ බලාත්මක කර නැහැ. එහි අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර නැහැ. මේ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමට අදාල පනත තිබුණාට එහි ක්‍රියාකාරිත්වයක් නැහැ. මේ නිසා පැමිණිලිකරුවන්ට සහ සාක්‍ෂිකරුවන්ට බරපතළ තර්ජනයක් ඇතිවෙලා. ඒ නිසා වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනතට අදාළ ක්‍රියාමාර්ග වහාම බලාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අද වනවිට සමාජයේ අපරාධ ක්‍රියාවන් දවසෙන් දවස වර්ධනය වීම නිසා මේ සම්බන්ධ අවශ්‍යතාවය වඩාත් වැඩියෙන් ඇතිවී තිබෙනවා.” යැයිද වටගල මහතා පැවසුවේය.
