මෝදි ගෝඨාගෙන් වරායේ නැගෙනහිර ජැටිය ගැනත් අසයි

by admindasun
0 comment 83 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිසා කඩා වැටී ඇති මෙරට ආර්ථික තත්ත්වය හමුවේ ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය තමන් වෙත ලබා ගැනීමේ ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසුවේ ඊයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී කොරෝනා ගැන කතා කරද්දි කොරෝනවලට කිසිම සම්බන්ධයක් නැති කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැනත් මතක් කර ඇති බවයි.

හිටපු වරයා ඇමැති සාගල රත්නායක මහතාගේ සමයේදී කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ වැඩ 95%කට වඩා අවසන් කර තිබියදී එහි කලමනාකාරණය බදු දීමට අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු මැදිහත් වීමක් ඇති ජපාන සමාගමක් සමග අත්සන් කෙරුණු බවත් වරායේ සියලු සේවක සංගම් ඒ සදහා විරුද්ධ වූ අතර එම ජැටියෙන් ලාභ ලබා පෙන්වීමට පොරොන්දු වුවත් පැවැති රජය ඒ පිළිබද මායිම් නොකළ බවත් බිමල් රත්නායක මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොළඹ වරායේ දකුණු ජැටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී  චීනයට ලබා දුන් අතර ඒ නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කටයුතු කළ බවයි.

එහෙත් ඒ අවස්ථාවේ එල්ල වුණු සේවක විරෝධය හමුවේ එම පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි වුණු අතර එහෙත් අත්සන් කෙරුනු ගිවිසුම් අවලංගු නොකෙරුණු බවත් රත්නායක මහතා කියා සිටියේය.

කොළඹ වරායේ කුමන ජැටියක් විදෙස් රටකට පැවරුවද එය රට උගස් කිරීමක් වන අතර කොරෝනාවලින් රට බේරා ගන්නා සේම කොළඹ වරායේ නැගෙනහිර ජැටියද බේරා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් රත්නායක මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment