ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතු බවත් කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණියද කිසිවිටෙකත් පසු නොබසින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසුවේය.
ත්‍රස්තවාදය පරාජය කොට වසර 11ක් සපිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මේ නිමිත්තෙන් පැවැත්වෙන සමරු උත්සවය අද සවස 04ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය ඉදිරිපිටදී පැවැත්වේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
“බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් මේ සටහන තබනුයේ සතුට සහ අභිමානය පිරි සිතැතිවය.
2009 මැයි මස 19 වැනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන, සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාරයයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයකි. එකී අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවර රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකිවීම ගැන මම අතිශය සතුටට පත්වෙමි.
පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කම්පාවට සහ වික්ෂිප්තභාවයට පත්ව සිටියහ. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් අපේ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ ඒ වකවානුවේදී සිදුවිය. ඉන් සංවේගයට පත් ජනතාවගේ අපේක්ෂාව වූයේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට ඔවුන්ට නිසි ගෞරවය අත්කර දීමය. මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට අපට හැකිවිය.
දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය. ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව තිබේ. කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද අප කිසිවිටෙකත් පසුබසින්නේ නැත. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රට දෙකඩ වීම නතර කළ රණවිරුවාට සහ ඔවුනට උපරිම සහයෝගය දුන් පුරවැසියාට කළ හැකි ඉහළම ගෞරවය එය බව මම තරයේ අදහමි.
මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු ප්‍රජාවට මගේ ප්‍රණාමය පුද කරමි.”
