අන්තර්ජාල අධ්‍යාපනය තවමත් බොරු වැඩක්

by admindasun
0 comment 27 views
පවතින තත්ත්වය යටතේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනට ලබා දීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවර්ධනය කළද තවමත් ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් මෙරට සිසු දරු දැරියන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේය.
අද දින බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ කොළඹ කලාපයේ පවා දරුවන්ගෙන් අන්තර්ජාල අධ්‍යාපනයට අදාළ උපකරණ තිබෙන්නේ 60%කට ආසන්න ප්‍රමාණයක් බවයි.
තවද උපකරණ තිබුණත් නිවසේ ඊට අවශ්‍ය පහසුකම් නොමැති බවත් රත්නායක මහතා පැවසුවේය.
අන්තර්ජාල පහසුකම් ලබාගන්න විශාල මුදලක් වැයවීම, දුරකතනය දෙස බලා ඉගෙන ගැනීමේ බාධක වැනි කරුණු ගණනාවක් අහිතකර ආකාරයෙන් බලපා තිබෙන අතර අනුරාධපුරය දිස්ත්‍රික්කයක වැනි ග්‍රාමීය ප්‍රදේශවල, උතුරු පළාතේ යාපනය නගරය තුළ පවා අන්තර්ජාල පහසුකම් ඉතාම සීමිත බවත් කිලිනොච්චිය වැනි ප්‍රදේශයක තත්ත්වය ඉතාම බරපතල බවත් කියා සිටියේය.
“මාස කිහිපයකට පසු දරුවන් පාසලට පැමිණි පසු විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම පිළිබඳ බරපතළ පීඩනයක් ගුරුවරුන්ට තිබෙනවා. අන්තර්ජාල ඉගැන්වීම් සරල දෙයක් නෙවෙයි. අපි මේ කරුණු ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල අධ්‍යාපනය ප්‍රතික්‍ෂේප කරන්න නෙවෙයි. විෂය මාලා ආවරණය කිරීමේ මූලික ඉලක්කයට අන්තර්ජාල අධ්‍යාපනය ගෙනියන්න එපා කියලයි අපි කියන්නේ. වෛද්‍ය පීඨ ඇතුළු විශ්වවිද්‍යාලවල පවා ශිෂ්‍යයන්ගෙන් 60%කට පමණයි අන්තර්ජාල පහසුකම් තිබෙන්නේ කියලා ආචාර්යවරු සමීක්‍ෂණ මගින් තහවුරු කරගෙන තිබුණා. එයිනුත් 30%කට පමණක් ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමේ හැකියාව තිබෙන්නේ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ සමාරම්භකයා වන බිල් ගේට්ස් මෑතකදී ප්‍රකාශ කර තිබුණේ දැනටත් ලෝකයේ තිබෙන අධ්‍යාපන පරතරය අන්තර් ජාල අධ්‍යාපනය නිසා දෙගුණ තෙගුණ වන බවයි. ඔහු මේ බව කියන්නේ ලංකාවේ හෝ ඉන්දියාවේ තත්ත්වය ගැන බලා නෙවෙයි, එක්සත් ජනපදය වගේ රටවල්වල තත්වය බලලයි. එම ප්‍රකාශයේ බරපතලකම පැහැදිලියි. තරඟකාරී ලෙස අන්තර් ජාලය මගින් අධ්‍යාපනය ලබාදී විෂය නිර්දේශ ආවරණය කළ බවට අධ්‍යාපන බලධාරීන් කිසියම් වීරත්වයක් ආරෝපණය කර නොගත යුතු බවයි අපි කියන්නේ. සමහර ගුරුවරු වගේම සමහර දෙමාපියන් පවා මේ බරපතල අසමානතාවය නිර්මාණය වීම ගැන කල්පනා කර නැති බව අපිට පේනවා,” යැයි ඔහු පැවසුවේය.
පවතින සමස්ත අධ්‍යාපන ගැටලු විසඳීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට යෝජනා මාලාවක් තිබෙන බවත් පැවසුවේය.
මේ සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා පහත පරිදි වේ.
■ අන්තර්ජාල අධ්‍යාපනය අතිරේක ක්‍රමයක් හැටියට පමණක් පවත්වාගෙන යාම
■ දරුවන්ට අසීමිත ලෙස බර පටවන ආකාරයට අන්තර්ජාල අධ්‍යාපනය පවත්වාගෙන නොයෑම.
■ අන්තර්ජාල සේවාවන් සඳහා අය කරන ගාස්තු අඩු කිරීම, දිවා රාත්‍රී ගාස්තු විෂමතාවය අනුව රාත්‍රී කාලයේ ඉතිරි වන ඬේටා ප්‍රමාණය දිවා කාලයේ අධ්‍යාපන කටයුතුවලට ලබාදීම.
■ නිශ්චිතවම පාසල් විවෘත කිරීම ගැන තීරණයක් නොමැති තත්වයක් යටතේ සාමාන්‍ය පෙළට පහළ දරු දැරියන්ට ලබාදිය යුතු අධ්‍යාපනය කුමණ ආකරයෙන්ද යන්න විධිමත් සාකච්ඡාවක් කිරීම.
■ අන්තර් ජාලය සහ රූපවාහිනිය පාවිච්චි කර විෂය නිර්දේශයෙන් භාහිර විකල්ප අධ්‍යාපන වැඩසටහන් ප්‍රචලිත කිරීම.
■ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර ලබාදී අන්තර්ජාල අධ්‍යාපනයට අදාල පහසුකම් ලබාදීමට කටයුතු කිරීම යන මූලික යෝජනා අපි ඉදිරිපත් කරනවා.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment