වාහන, ප්ලාස්ටික් පසෙකලා නිෂ්පාදන ආර්ථිකය දිරිගන්වයි

by admindasun
0 comment 59 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ රටේ සංචාරක කර්මාන්තය, ඇගළුම් කර්මාන්තය ආදී අංශ විශාල ලෙස කඩා වැටීමකට ලක්වී ඇති බැවින් වහාම නිෂ්පාදන ආර්ථිකයකට යොමු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේම වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු කියා සිටියේය.

“කොරෝනා වෛරසය අපේ පාලනය යටතේ තබා ගැනීමට රජයට හැකි වුණා. දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීම. ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් යාවි. සංචාරක ව්‍යාපාරයේත් සිදුව ඇත්තේ බරපතළ පසුබැස්මක්. අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලයි. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යන්න බැහැ. අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට පිළිවන්”, යැයි ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා ජනාධිපති මන්දිරයේදී බැංකු ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරී මහත්ම මහත්මීන් ඊට එක්ව සිටියහ.

දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් ඒ සදහා ඇති අයෝජන ක්‍රම බල ගැන්විය යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒ අනුව තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපයක් ලෙස හදුන්වා දුන් ඔහු මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය ලබා දෙන ලෙස මෙරට මූල්‍ය ආයතනවලිින් ඉල්ලලා සිටියේය.

“වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා. එසේ නැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැහැ. ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වෙනවා. එය හැම අතින්ම හානිකරයි. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළ යුතුයි”. යනුවෙන් සඳහන් කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment