27 දක්වා රිමාන්ඩ් කෙරුණු රාජිත දළුපොත බන්ධනාගාරයට

by admindasun
0 comment 128 views

කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු ඇප ප්‍රතිශෝධන පෙත්සමක් මත ඇප අවලංගු කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් මැයි මස 27 දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කරන ලදී.

හිටපු අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුදු වෑන් සම්බන්ධව පැවැත්වූයේ යැයි කියන ව්‍යාජ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත්වූ අතර එම අවස්ථාවේදී ඔහු අසනීපව රෝහලේද දින ගණනාවක් පසුවූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ඇප මත මුදා හැරිනි.

ඉන් පසු ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ප්‍රතිශෝධන පෙත්සමක් අද දින සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඔහුට ලබා දී ඇති ඇප අවලංගු කරන ලදී.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් පරිදි ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් රාජිත සේනාරත්න මහතාගේ නිවසට ගියද ඔහු එහි නොසිටි අතර අද සවස් කාලයේදී සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් විය.

ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් හිටපු අමාත්‍යවරයා මැයි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දන්වන ලදී.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සේනාරත්න මහතා මීගමුව දළුපොත බන්ධනාගාරය වෙත රැගෙන යන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment