කොළඹ ජාතික රෝහල ඇතුළු කොවිඩ් – 19 වසංගත තත්ත්වයට අවදානම් රෝහල්වල හෙද කාර්යා මණ්ඩලයට අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කරන ලෙසත් මේ වන විට අනාරක්ෂිත වී ඇති හෙද කාර්යමණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමිතියෙන් හා ප්‍රමාණවත් ආරක්‍ෂිත මෙවලම් සපයන ලෙසත් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර, කරාපිටිය, ගම්පහ, හෝමාගම, කාත්තන්කුඩි හා මිනුවන්ගොඩ ඇතුළු රෝහල් ගණනාවක කොවිඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිසා අවදානමට ලක්වූ හෙද නිලධාරීන්ගේ ආසාධනය වූ බවට හදුනා ගැනීමේ පරීක්ෂණ නියමිත පරිදි සිදු නොකිරීම සහ අදාල හෙද නිලධාරීන් නිරෝධායනයට ලක් නොකිරීමෙන්ද හෙද නිළධාරීන් මෙසේ අපහසුතාවට පත්වී ඇති බවත් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ රත්නප්‍රිය මහතාට අනුව පසුගිය මැයි 05 වනදා ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් කොවිඩ් – 19 ආසාධිතයින් තිදෙනෙකු වාර්තා වූ අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණියකටත් අසාධනය වී ඇති බව තහවුරු කළද දෙවන පරීක්ෂණයේදී එසේ නොවන බවට තහවුරු විය . PCR පරීක්ෂණයේ සංවේදීතාව 70% වන අතර මෙම පරීක්ෂණ දෙකෙන් කුමක් නිවැරදිදැයි සැකයක් මතු වේ. එබැවින් ඇයට තව දුරටත් තෙවන පරීක්ෂණයට භාජනය කළ යුතු වන අතර ඇයගේ අධීක්ෂණය යටතේ සේවය කරන 300ක් පමණ හෙද කාර්ය මණ්ඩලයද මේ වන විට අවදාානම් තත්ත්වයකට මුහුණ දී ඇත.
තවද විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණියගේ තත්ත්වය එසේ වුවද ඇය පාලනය කළ එම ඒකකය හා වාට්ටු විෂබීජහරණය කිරීම වැනි ආරක්‍ෂිත පියවර කිසිවක් මේ වන විට ගෙන නොමැති බවටත් ඔහු චෝදනා කළේය.
ප්‍රජාවේ රෝගියකු හමුවූ විට එම ප්‍රදේශයට සංචරණය සිමා කරමින් අදාළ පිරිස් නිරෝධායනය කරමින් එම ප්‍රදේශ විෂබීජහරණය කිරීම් කළද සෞඛ්‍ය ආයතන හා රෝහල් තුළ එසේ නොකිරීම බරපතල වරදක් බවට හෙද නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එදිනම ජාතික රෝහලේ තවත් 25 දෙනෙකුගෙන් පමණ නිදර්ශක ලබා ගනිමින් පරික්ෂා කළද අනෙක් අයගේ සාම්පල පරික්ෂා කිරීමක් සිදු නොවුනු බවත් ඔහු කියා සිටියේය.
රත්නප්‍රිය මහතා තව දුරටත් පැවසුවේය කොවිඩ්- 19 රෝගීන් හමුවූ වාට්ටු අංක 48 සහ 45 යන වාට්ටුවල හෙද නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ සිදු කිරීමට හෝ නිරෝධායනයට ලක්කිරීම වැනි ආරක්‍ෂිත පියවර කිසිවක් මේ වන විට ක්‍රියාත්මක කර නොමැතිි බවයි.
එසේම ප්‍රමිතියක් ඇති N 95 මුඛ ආවරණවත් ප්‍රමාණවත් ලෙස හෙද නිලධාරීන්ට දීමට පරිපාලනය සමත් නොවීමෙන්ද ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළ ඇති බව රත්නප්‍රිය මහතා පැවසුවේය.
