හම්බන්තොට පාරවල් හදන්න චීනයෙන් බිලියන 15ක ණයක්

by admindasun
0 comment 66 views

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා මාර්ග කිලෝ මීටර් 105ක් පමණ යළි පිළිසකර කිරීම සදහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක පමණ ණයක් ලබා ගැනීමට මහා මාර්ග අමාත්‍යංශය සැළසුම් කර ඇත.

මේ පිළිබද අනුමැතිය පසුගිය කැබිනට් රැස්වීමේදී විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශයට හිමි වුණු බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

මෙම ව්‍යාපෘතියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරවල් 8ක් සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග 02ක් අයිතිවේ.

මේ පිළිබද අදහස් දැක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අනුව බෙලිඅත්ත – කිරින්ද, අකුරැස්ස – කඹුරුපිටිය, තංගල්ල – වීරකැටිය, වලස්මුල්ල – වීරකැටිය, වීරකැටිය – මිද්දෙනිය, වලස්මුල්ල – නතුවල, කටුවන – ඌරුබොක්ක, සුමිහිරිගම – නතුවල, වලස්මුල්ල – දේවාලේගම සහ නාරන්දෙනිය – හක්මණ යන මහා මාර්ග මෙම ව්‍යාපෘතිය යටතේ යළි පිළිසකර කිරීමට නියමිතය.

මේ පිළිබදව වැඩි විස්තර විමසූ විට මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා පැවසුවේ අදාළ කැබිනට් තීරණය මේ වන තෙක් අමාත්‍යංශයට දැනුම් දී නොමැති අතර ඒ පිළිබද ඔහු තවම දැනුවත් වී නොමැති බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment