2019 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සම්පූර්ණ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ව තිබියදීත් එහි පිළිතුරු පත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගෙන් සැලකිය යුතු කොටසකට මෙතෙක් අදාළ ඇගයීම් ගාස්තු ගෙවා නොමැති බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ තමන්ගේ ගිණුම්වලට මෙම මුදල් බැර වුණු බවට කෙටි පණිවිඩයක් දුරකථනලට ලැබී තිබුණද ගිණුම්වලට එම මුදල් බැරවී නොමැති බවයි.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ ගුරුවරුන් මේ නිසා මහත් අසීරුතාවට පත්ව ඇති බවත් ඔහුු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතාට අනුව අදාළ ගුරුවරුන් මෙම රාජකාරිවල නිරතව මේ වන විට මාස 04 ක් ඉක්මගොස් ඇත. 2020. 03. 30 වන දින මෙම ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ට SMS පණිවිඩයක් මගින් ඇගයීම් ගාස්තු තමන්ගේ ගිණුම්වලට බැර කළ බවට පණිවිඩයක් ද ලබා දී ඇත. මෙවැනි තත්ත්වයක් තුළ තම සංගමය ඇතුළු ගුරුවරුන් මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් සිදුකරන විමසීම්වලදී මෙම ගෙවීම් සඳහා ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන දෙපාර්තමේන්තුව වෙත ලබා නොදීම මීට හේතුව බවත් ලැබුණු වහාම මෙම ගෙවීම් සිදු කරන බවත් පවසයි. නමුත් මෙම තත්ත්වය මීට ඉහතදී ද වාර්තා වී ඇති අතර විශේෂයෙන් ජාතික ඇගයීම් සේවාව තුළ මෙවැනි ගැටළු කඩිනමින් නොවිසඳීම එහි ගුණාත්මක බව පිරිහීමට බෙහෙවින් හේතු විය හැකි බව මෙහිදී පෙන්වා දිය යුතුව ඇත.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ උත්තර පත‍්‍ර ඇගයිම්වලදී අදාළ උත්තර පත‍්‍රයක් සඳහා ප‍්‍රමාණවත් ගෙවීමක් ද සිදු නොකරන තත්ත්වයක් තුළ වුවද ගුරුවරුන් මෙම රාජකාරි වලදී සිදුකරමින් තිබෙනුයේ සුවිශේෂී කැපවීමක් වන අතර එහිදී ප‍්‍රවාහන, ආහාර හා ඉඳුම් හිටුම් පිළිබඳව පෞද්ගලිකව වියදම් කිරීම නිසා ද ගැටලූ රැසකට ඔවුන් මුහුණ දෙමින් මෙම රාජකාරිවල නිරතව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවත් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරද එම උත්සාහයන් ව්‍යර්ථ විය.
