කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු විදේශ ආධාරයක් ලැබී නැති බව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
අරලිය ගහ මන්දිරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය.
අගමැතිවරයාගේ ඉල්ලීම අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසුවේ මේ වන විට විවිධ මුදල් ලබා දෙන ආයතනවලින් ඉල්ලීම් කර තිබුණද මේ වන විට කිසිදු මූල්‍යාධාරයක් ලැබී නොමැති බවයි.
ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබා දීමට එකග වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයිද අදාළ මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයිද ආටිගල මහතා වැඩිදුරටත් පැවසුවේය.
මෙම රැස්වීමට දෙමළ ජනතා සන්ධානය සහභාගී වූ අතර එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරු සහභාගී වූයේ නැත.
මෙම රැස්වීම අවසානයේදී දෙමළ ජාතික සන්ධානය විසින් අගමැතිවරයාට යෝජනා මාලාවක් ලබා දුන් අතර එහි ප්‍රධාන ඉල්ලීම වූයේ නැවත පාර්ලිමේන්තුව කැදවන ලෙසයි.
