එළඹෙන මහ මැතිවරණය සදහා අගමැති අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විටත් තීරණය කර නොමැති බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
මේ පිළිබදව විවිධ මත ප්‍රකාශ වීමත් සමග ඒ පිළිබදව කළ විමසීමකදීී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවමත් කල් වැඩි බවයි.
පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය අනුව මැතිවරණය පිළිබදව තවමත් අවිනිශ්චිත තත්ත්වයක් ඇති බවත් ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නේද යන්න විමසූ විට කාරියවසම් මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ගනු ලබන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවයි.
මැතිවරණ කොමිසම විසින් මේ වන විට මහ මැතිවරණ ජුනි මස 20 වන දින පැවැත්වෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ කොවිඩ් – 19 වසංගතයේ පවතින තත්ත්වය අනුව මැතිවරණය තව දුරටත් කල් දමන්නේද නැද්ද යන වග මැයි මස 04 වන විට නිවේදනය කරන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් ගොඩනගා ඇති ජාතික සමගි ජන බලවේගය මේ වන විටත් එහි අගමැති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ප්‍රකාශයට පත් කර ඇත.
