බුලත් ගොවීන්ටත් නරක දසාවක්

by admindasun
0 comment 121 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් අපනයන කටයුතු සිදු කිරීමට නොහැකි වීමෙන් සහ මෙරට තුළ බුලත් වෙළෙදාමේ කටයුතු ඇණ හිටීම නිසා බුලත් කර්මාන්තකරුවන් සම්පූර්ණයෙන්ම අසරණ වී ඇති බව වගාකරුවන් පවසති.

සාමාන්‍යෙයන් බුලත් වගාවක සති 02කට වරක් බුලත් කැඩීම සිදු කරන අතර එසේ නොකළහොත් එහි නව දළු ලෑම බාල වන බැවින් එය වගාවට ඉතාමත් හානිකර වන බව ගොවීහු පවසති.

එහෙත් පවතින තත්ත්වය තුළ අපනයන බාධා එල්ල වී ඇති අතර මෙරට තුළද සති පොළවල් වැනි මහා පරිමාණයෙන් බුලත් අලෙවි වන ස්ථාන අවහිර වී ඇති නිසා බුලත් කැඩීම සිදු කිරීමෙන් පලක් නොවන බවත් ගොවීන්ගේ අදහසයි.

තවද අපනයනය සදහා වගා කෙරෙන බුලත් දහසකට රුපියල් දස දහසක් පහළොස් දහසක් වැනි මුදලක් ලබා ගත හැකි වුවත් එම ආදායම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වනාතවිල්ලුව ප්‍රදේශයේ බුලත් වගාකරුවෝ News Unlimited වෙතට පවසති.

තවද රුපියල් 02ට 03ට දේශීය පරිභෝජනය සදහා බුලත් අලෙවි වුවද මේ වන විට අලෙවි කරගත නොහැකිව බුලත් කොළ ලක්ෂයකට අධික ප්‍රමාණයක් නරක් වී කසළ බවට පත් කිරීමට සිදු වී ඇති බව ඔවුහු කණගාටුවෙන් යුතුව දන්වා සිටිති.

කෙසේ වෙතත් දිනකට බුලත් වගාවට අවශ්‍ය වතුර ප්‍රමාණය සහ අවශ්‍ය පොහොර ඒ අයුරින්ම ඔවුන්ට යෙදීමට සිදු වී ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පවසා සිටියහ.

මේ සම්බන්ධයෙන් විමසූ විට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්. එම්. එන්. බී හපුහින්න News Unlimited කළ විමසුමකදී පැවසුවේ අත්‍යවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියලු කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සදහා අවශ්‍ය අවසර ලබා දී ඇති බවයි.

අපනයන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නෙ මුදල් අමාත්‍යංශය බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් දිස්ත්‍රික්ක අතර ප්‍රවාහන කටයුතු නවතා දමා ඇති අතර මෙරට වෙළෙද ආයතන වසා දමා ඇති බැවින් තම නිෂ්පාදනය විකුණා ගැනීමට අවස්ථාවක් නැති බවත් රජයෙන් තම වගාවන්ට යම් කිසි සහනයක් සලසන ලෙසත් බුලත් ගොවීහු ඉල්ලා සිටියහ.

ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් මහා පරිමාණ බුලත් වගාකරුවන් ක්‍රියාත්මක වන බවත් ඔවුහු පවසති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment