පාර්ලිමේන්තුව කැදවන්න ජනපතිට බැරි බව උදය කියයි

by admindasun
0 comment 25 views

එජාප හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ජවිපෙ නායක අනුර දිසානායක මහතා චෝදනා කරන පරිදි  මහමැතිවරණය නොපවත්වා පාර්ලිමේන්තුව යළි කැදවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියෙන් ජනාධිපතිට පැවරුණු බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවීම සහ නාම යෝජනා කැඳවීමටත් මැතිවරණය පැවැත්වීමටත් දින නියම කිරිම දැනටම කරලා ඉවරයි.  ව්‍යවස්ථාවේ 103 වගන්තිය අනුව මැතිවරණ පැවැත්වීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව මැතිවරණ කොමිසමටයි.  1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තියෙන් ලැබුණු බලතල අනුව වසංගත තත්වය සලකා මැතිවරණය කල් දැමීමට කටයුතු කලේ  ජනාධිපති නොව මැතිවරණ කොමිසමයි.  ඒ නිසා රුවන් විජේවර්ධන මැතිතුමාට කවුරු හරි දීල තියෙන්නෙ වැරදි නීති උපදෙසක්” බවත් ගම්මන්පිළ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා පැවැති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට අනුර දිසානායක මහතාද පැවසුව නමුත්වි විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු  එක් අවස්ථාවක් පමණක් ව්‍යාවස්ථාවේ සදහන් වන අතර ඒ හදිසි නීතිය පනවන අවස්ථාවකදී පමණක් බවත් ඔහු කියා සිටියේය.

ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය අනුව හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය යැයි ජනාධිපති කල්පනා කරනවා නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි නමුත් කොරෝනා මර්දනයට පවතින නීති ප්‍රමාණවත් බව නිලධාරින් පවසන බැවින් පාර්ලිමේන්තුව කැදවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගම්මන්පිල මහතා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment