ශ්‍රී ලංකා නාවික හමුදාව දින 14ක් තිස්සේ ගැඹුරු මුහුදේ සිදු කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය තොගයක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේය.
ඒ් අනුව මුහුදු සැතපුම් 548 (දළ වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින් කි. ග්‍රෑ. 260 සහ අයිස් මත්ද්‍රව්‍ය කි. ග්‍රෑ. 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බවත් ලුතිනන් කමාන්ඩර් සූරියබණ්ඩාර පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වූ ලුතිනන් කමාන්ඩර් සූරියබණ්ඩාරට අනුව අත්අඩංගුවට පත් මත් ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් කෝටි 327 ක් පමණ වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ 687 ක්, අයිස් කි.ග්‍රෑ 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ 579 ක් වන බවත් ඔහු කියා සිටියේය.
මෙය මෙම අවුරුද්ද තුළ මෙයට පෙර ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 03හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රිකා දුරකථනවල දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කර ඇත.
එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් දින 14ක සාගරික මෙහෙයුමකට අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී. දින 2 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හදුනාගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09ක් පුරාවට නිරීක්‍ෂණය කර 10 වන දිනයේදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගන්නා ලදී.
