කොවිඩ් – 19 මර්දනය සදහා සිදු කෙරෙන නිරෝධායන කාල සීමාව තුළ සහල් සැපයුම නියමිත පරිදි තබා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ වී මෝල් සම්බන්ධ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
ඊයේ ජනාධිපති, අගමැති ඇතුළු කොවිඩ් – 19 පාලනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ කාර්ය සාධන බලකාය සහ අදාළ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
සමහර වී මෝල් හිමියන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ තම වී මෝල් වසා තබන බවට පැවසූ අතර එහිදී ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය සහල් වන බැවින් මේ කාලය තුළ මෙරට සහල් හිගයක් ඇති විය නොහැකි බවයි.
තවද එසේ වී මෝල් වසා තැබීමට කටයුතු කළොත් වී මෝල් සම්බන්ධ කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට සිදු වන බව රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පැවසුවේය.
