තම ජීවිතවලට ඇති අනතුර පවා නොසලකා සේවය කරන ශ්‍රී ලංගම සේවකයින් හට මුව ආවරණ, අත්වැසුම් සහ කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ආරක්ෂිත උපක්‍රම ලෙස භාවිත කරන අනෙකුත් අදාළ සියලූම වෛද්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ඉල්ලා සිටියේ මේ මොහොත වන විට සෑම දිස්ත්‍රික්කයකම රියදුරු, කොන්දොස්තර හා කාර්මික සේවකයින් තම ජිවිත අනතුර පවා නොසලකා රට තුළ ඇති වී ඇති කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට දැඩි කැපකිරීමක් කටයුතු සිදුකරමින් සිටින බවයි.
සියලූම අත්‍යවශ්‍ය සේවාවල සේවකයින් ප්‍රවාහනය කිරීම, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් අදාළ ස්ථානයන්වලට ප්‍රරවාහනය කිරීම සෑම දිස්ත්‍රික්කයකම ශ්‍රී ලංගම සේවකයින් විසින් සිදුකරනු ලබන බව ලියනගේ මහතා පවැසුවේය.
මෙම කාර්යයන්හි නියැලි ලංගම සේවකයින් හට විධිමත්ව අඛණ්ඩව අදාළ මුව ආවරණ, අත්වැසුම් සහ වෛද්‍ය පහසුකම් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස තම සංගමය විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටින බවත් ලියනගේ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
