රෝහල් 1,000ක් ඉදිරිපිට උද්ඝෝෂණ

by admindasun
0 comment 43 views

විශේෂයෙන් කොවිඩ් රාජකාරී කටයුතු සමග පැන නැගී ඇති ගැටළු රැසක් මුල්කරගෙන සෞඛ්‍ය සේවකයින් අද රජයේ රෝහල් දහසක් ඉදිරිපිට උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ මෙම උද්ඝෝෂණ අද දින රට පුරාම ආවරණය වන පරිදි රෝහල් ඉදිරිපිට පැවැත්වෙන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් සම්බන්ධ රාජකාරී කටයුතු හේතුවෙන් අමතරව ගෙවන ලද රු. 7,500/=ක දීමනාව මෙම මස සිට නතර කර දමා ඇති අතර එනිසා ඔවුන් මහත් අසීරුතාවට පත්ව ඇති බවයි.

තවද කොවිඩ්-19 රාජකාරී කටයුතුවල නියැළෙන සෞඛ්‍ය සේවකයින්ට පිටතට යාමට නොහැකි බැවින් ආහාර සැපයීමට මීට පෙර පොරොන්දු වී තිබුණද මේ වන තෙක් එසේ ආහාර ලබා දීමක් සිදු නොවී ඇති බවත් ඔහු කියා සිටියේය.

කොවිඩ්-19 රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩලයට එන්95 වර්ගයේ මුව ආවරණ ලබාදීමද මේ වන තෙක් සිදු කර නොමැති අතර මෙසේ මූලික පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සැළකිය යුතු පිරිසකට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවත් රත්නප්‍රිය මහතා කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල යෙදෙන සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම්වත් පොරොන්දු වූ පරිදි ලබා නොදී ඇති බවයි.

මෙම කරුණු හැකි ඉක්මනින් සමථයකට පත් කර සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුව විසින් දිගින් දිගටම මගහරින්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment