හදිසියේම රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය පිළිබදව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය විසින් විරෝධය පල කරන බව එහ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පවතින වසංගත තත්ත්වය ලෝකයටම බලපා ඇති බැවින් මේ වන විටත් තේ ගොවියාට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී ඇති බවයි.
එවැනි තත්ත්වයක් තුළ විකල්ප ලබා දීමෙන් තොරව හදිසියේම රසායනික පොහොර තහනම් කළ හොත් කපලෙන් ලිපට වැටුණු තත්ත්වයකට ඔවුන්ට මුහුණ දීමට සිදුවන බවත් ඔහු කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහුට අනුව වැවිලිකරුවන්ගේ සහ කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාව හුරුවී ඇත්තේ තේ පැළය අවධියේ සිට රසායනික පොහොර මත පදනම්වය. කාබනික පොහොර යෙදුම ඇල්බීසියා (ලාඩප්පා) කප්පාදුව ක්ෂේත්රයට මුසු කිරීමෙන් සිදු කරන අතර ගුණාත්මක තේ දල්ලක් නිෂ්පාදනයට රසායනික පොහොර තේ ගසට හුරුවී හමාරය.
ක්ෂණිකව රසායනික පොහොර භාිවිතය නතර කළහොත් වැවිලි කර්මාන්තය තුළින් ලබා ගන්නා ජාතික ආදායම සම්පූර්ණයෙන් බිද වැටෙන බව ඔහු කියා සිටියේය.
තව දුරටත් ගාල්ලගේ මහතා කියා සිටියේ තේ වගාවට කාබනික පොහොර මුසු කරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය වුවද ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම නුසුදුසු බව තම සංගමයේ මතය බවයි.
එසේම විධිමත් බවෙන් තොරව තේ වගාව ආශ්‍රිතව ජනතාව පීඩනයට පත් කිරීමක් සිදු වුවහොත් තම සංගමය අනෙකුත් සංගම්ද එකමුතුව අවැසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ගාල්ලගේ මහතා කියා සිටියේය.